අවශ්‍ය නම් බෙලිඅත්තෙන් තරගකර ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පදවියක් ලද හැකියි මහින්දට අගමැති අපේක්ෂකත්වයක් නෑ - ජනපති මෛත‍්‍රිපාල කියලා

එළැඹෙන මහමැතිවරණයේදී හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරගවැදීමට අවශ්‍ය බව කියන්නේ නම් ඊට අවස්ථාව සලසා දිය හැකි බව මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිවරයා එකඟවී ඇත. නමුත් ඒ ඔහු බලාපොරොත්තු වන ආකාරයට අගමැති අපේක්ෂකයෙකු ලෙස නොව මන්ත‍්‍රී පදවි අපේක්ෂකයෙකු ලෙසිනි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට මහින්දට ඉඩ ලබාගැනීම පිළිබඳ හිටපු ඇමතිවරුන් වන කුමාර වෙල්ගම හා ටී.බි. ඒකනායක ජනාධිපති නිල නිවසේදී ජනපතිවරයා හමුවී
සාකඡා කර ඇත්තේ පසුගිය සෙනසුරාදායි.

 එම අවස්ථාවේ මෛත‍්‍රිපාල ජනපතිවරයා මහින්ද එනවාට තමන් විරුද්ධ නැති බවත් ඔහුට බෙලිඅත්ත ආසනය භාරගෙන අවශ්‍ය නම් තරග කළ හැකි බවත් පවසා ඇත. නමුත් ඔහුව අගමැති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීමට සූදානමක් නැති බව පැහැදිලි ලෙස කියා ඇත.


අගමැති කම ලබාදීම සිදුවන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබාගතහැකි අයෙකු ජනපතිවරයා විසින් නම් කිරීමෙන් බව ව්‍යවස්ථාවේ සඳහන්ය. ඒ අනුව අගමැති පදවිය පසුවට තීරණය කළ හැකි බව ජනපතිවරයා පවසා ඇත.

ලබන මැයි 1 වනදා ශ‍්‍රීලනිප මැයි රැළියට එක්වන ලෙස හිටපු ජනපතිවරයාට මහලේකම් අනුර ප‍්‍රියදර්ශන විසින් ආරාධනය කරනු ලැබ ඇති නමුත් හිටපු ජනපතිවරයා එයට සහභාගීවේද නැතහොත් විමල් ඇතුළු පිරිසගේ කිරුළපන රැළියට එක්වේද යන්න ගැන තවම නිශ්චය කර නැති බව වාර්තා වනවා.

අපේ‍්‍රල් මස අග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බැවින් ඉදිරි මහමැතිවරණය ලබන ජුනි මාසයේ පවත්වන්නට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වෙයි.