සීගිරියේ කුරුටු ගෑ තරුණිය තාම නිදහස් නෑ අභියාචනය හරස්වෙලා

සීගිරියේ කුරුටු ගී සහිත කැටපත් පවුරට හානි කිරීමේ චෝදනාවට වසර දෙකක සිර දඬුවම් නියම වූ සින්නතම්බි උදය ශ‍්‍රී තරුණියට ජනපතිවරයාගේ විශේෂ සමාවක් හිමිව ඇතත් එය ක‍්‍රියාත්මක කිරීමට ඇයගේ අභියාචන පෙත්සම හරස් වී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ ඇමැති විෙ–දාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ
34 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිරගත තරුණියට විශේෂ සමාවක් ලබා දුන්නේය.

අදාළ සමාව ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී සිරකාරිය විසින් පනවා ඇති දඬුවමට එරෙහිව ගොනුකර ඇති අභියාචනය ඊට හරස් වී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අභියාචනාවක් පවතින සිරකාරියකට හෝ සිර කරුවකුට කිසිදු ආකාරයේ විශේෂ සමාවක් හිමි නොවන බැවින් අදාළ සිරකාරිය විසින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව සමාව ප‍්‍රදානය කිරීමට හැකිවන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

රෝෂන් තුෂාර