චම්පිකට සම්බන්ධන්ගේ භූතාත්මයක් වැහිලා - විමල්

වර්තමාන ආණ්ඩුව උතුරේ හමුදා පාලනයක් සහ හමුදා ව්‍යාප්ත කිරීමක් කරන බවට පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා මෙන් ජාතික හෙළ උරුමයේ ලේකම් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට චෝදනා කිරීම ඔහු විසින් දේශපාලන වශයෙන් කරනු ලැබූ මෙගා ඞීල් එකක් බවට පෙනී යන බව ජාතික නිදහස් පෙරමුණේ
නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

උතුරේ හමුදා ව්‍යාප්තියක් දෙමළ ජනතාව හමුදා පාලනයකට නතුකර ඇති බවට එක්සත් ජාතික පක්ෂය පවා වර්තමාන ආණ්ඩුවට චෝදනා නොකළ බව කී අමාත්‍යවරයා අද පාඨලී චම්පික රණවක මහතා එසේ චෝදනා කර සිටීම තේරුම්ගත නොහැකි කරුණක් බවද සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා මෙලෙස චෝදනා කිරීම පිළිගත හැකි බව පැවැසූ විමල් වීරවංශ මහතා, තමන් සම්බන්ධන්ගේ භූත ආත්මයක් සේ පාඨලී චම්පික මහතා මෙලෙස ප‍්‍රකාශ කර සිටීම කෙසේ පිළිගන්නේ දැයි ප‍්‍රශ්න කළේය.
දමිළ පුවත්පතක පළවී තිබූ රණවක මහතාගේ එම ප‍්‍රකාශය පිළිබඳව විමල් වීරවංශ මහතා සිය පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (17දා* පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී දැඩි ලෙස දේෂ දර්ශනයට ලක්කරමින් මේ අදහස් පළ කළේය.

පොදු අපේක්ෂක හිටපු අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජන රැලිවලදී කරනු ලැබූ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන්ද පරස්පර විරෝධී භාවයක් මතුව ඇති බවද පවසමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටුනායක ගුවන්තොටුපොළේ දොරවල් ලබන ජනවාරි 8 වැනිදා රාත‍්‍රි 12ට වසා දමා අපිට  ඕන අයට පමණක් විදේශගත වෙන්න කටයුතු කරනවා කියලා පැවැසුවා. ඊට පසුව පාඨලී චම්පික රණවක මහතාගේ පොතක් එළිදැක්වීමේ උත්සවයකදී කියනවා ගුවන්තොටුපොළ වහන්න මට ඔළුවේ අමාරුවක් තියෙනවාද කියලා. මෙහෙම කියපු කෙනා පසසේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න මට ඔළුවේ අමාරුවක් තියෙනවාද කියලා කියන්න පුළුවන්. සෝභිත හාමුදුරුවෝ කිව්වේ මේ විධායක ජනපති ක‍්‍රමය ආහෝසි කරන්න කටයුතු කරන්න  ඕන කියලා. නමුත් දැන් මෛත‍්‍රිපාල සිරිසේන කියනවානේ 18 විතරයි ආහෝසි කරන්නේ කියලා.


අපි කියන්නේ ඔහුට ඔළුවේ අමාරුවක් තියෙනවා. නැත්නම් කලින් කියපු ප‍්‍රකාශ එහෙම කිව්වේ නැහැ කියලා කියන්නේ කොහොමද? ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහු නුසුදුස්සෙක්. මෙහෙම ඔළුවේ අමාරු තියෙනවානම් ඔහු දැන් ජනාධිපති අපේක්ෂකකමෙන් හරිනම් ඉල්ලා අස්විය යුතුයි.
මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලදී සියයට 7 පොලියට අරන් වර්තමාන රජය ව්‍යාපෘති කළා කියලා චෝදනා කරනවා. නමුත් 1977 සිට 1994 දක්වා රජයන් ප‍්‍රංසය, බි‍්‍රතාන්‍ය වැනි රටවල බැංකුවලින් මිලියන ගණන් මුදල් ණයට අරගත්තේ වාර්ෂික ණය පොලී අනුපාතිකය සියයට 10.85, සියයට 8.59 වැනි ඉහළ ණය පොලී අනුපාතිකයන්ට අනුවයි.
නියම මෙගා ඞීල් කාරයෝ තමයි අද මේ චෝදනාව රජයට එල්ල කරන්නේ. ඉහළ ණය පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපෘතිවලට ණය අරගෙන තිබෙන ඞීල් කාරයන්ව අපිට ඔප්පු කරන්න පුළුවන්. පුළුවන්නම් ඒවා ගැන කතා කරන්න එන්න.
දිල්හාන් විමල්ක