කැම්පස් හොස්ටල් වලින් ලැප්ටොප් ෆෝන් උස්සන කල්ලියක්

රටපුරා විශ්ව විද්‍යාල පහක නේවාසිකාගාරවලට රිංගා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, කැමරා ඇතුළු උපාංග සොරකම් කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සමග රුපියල් ලක්ෂ හතළිහකට අධික සොරකම් කරන ලද භාණ්ඩ සොයා ගැනීමට මාතර කොට්ඨාස බුද්ධි ඒකකය සමත් වී ඇත.

රජරට, මොරටුව, කැලණිය, සබරගමුව, රුහුණු සරසවිවල නේවාසිකාගාර තුළින් සොරකම් කරන ලද ලැප්ටොප් 28ක් ජංගම දුරකථන විස්සක් හා රවුටර් දෙකක් ප‍්‍රශ්න කිරීමේදී සොයාගෙන ඇත.
රාජාංගණය හා අලූත්ගම පදිංචි දෙදෙනකු මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ හා භික්ෂු නේවාසිකාගාරයේ තිබූ ජංගම දුරකථන පහක් හා ලැප්ටොප් යන්ත‍්‍ර තුනක් අතුරුදන්වීමේ සිද්ධියක් පිළිබඳව මාතර පොලිසියට ලද පැමිණිල්ලක් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතාට විමර්ශන භාරදී ඇත.

එම විමර්ශනවලදී අතුරුදන් වූ ජංගම දුරකථනයක් මීරිගම ප‍්‍රදේශයේ අයකු භාවිත කරන බවට තහවුරු වූ පසුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී එම ජංගම දුරකථනය විකිණූ පුද්ගලයා වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 දාය. තමාට මිතුරෙක් විසින් සොරකම් කර දුන් දුරකථන හා ලැප්ටොප් තමාද මුදලක් තබාගෙන විකිණූ බව එම සැකකරු හෙළි කර ඇත. එම සැකකරු මාර්ගයෙන් ප‍්‍රධාන සැකකරුව දුරකථනයක් මිලදී ගන්නා මුවාවෙන් ගෙන්වා අලූත්ගමදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් මාතර සරසවියේ නේවාසිකාගාරවලින් සොරකම් කළ ලැප්ටොප් හා දුරකථන ගැන විමසා ප‍්‍රශ්න කරද්දී ඒවා විකිණූ පුද්ගලයන්ගෙන් ගෙන්නවා දීමට එකඟ වී ඇත. මේ අනුව සොයාගත් ලැප්ටොප් හා ජංගම දුරකථන පොලිසිය තුළදී පැමිණිලිකාර සරසවි සිසුන්ට පෙන්වා ඇතත් ඒවා තමන්ගේ නොවන බව එහිදී අනාවරණය වී තිබේ.

මේ අනුව මෙම කල්ලිය තවත් සොරකම්වලට සම්බන්ධ බවට හෙළිවීමත් සමග වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී රට පුරා සරසවිවල නේවාසිකාගාර තුළට රිංගා සොරකම් කළ අයුරු අනාවරණය කර ඇත. මොවුන් විසින් රුපියල් ලක්ෂයක් වටිනා ලැප්ටොප් යන්ත‍්‍රය රුපියල් විසිපන්දහස බැගින් විකුණා ඇති බව හෙළි වී ඇත. අධික මිල ගණන්වල ජංගම දුරකථන පවා අඩු මිල ගණන්වලට විකිණී ඇතැයි හෙළිවී තිබේ.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන රාජාංගණය, කුරුණෑගල, දඹුල්ල, නුවර, කොළඹ, වැලිගම ප‍්‍රදේශවලට විකුණා ඇතැයි හෙළිවී තිබේ. ප‍්‍රධාන පෙළේ පුද්ගලික ආයතනයක කළමනාකරුවකු ඇතුළු ඉහළ රැකියාවල නිරත වූවන්ද සැකකරුවන්ගේ ලැප්ටොප් හා දුරකථන මිලදී ගෙන තිබියදී හමුවී ඇත.
තමන් මුලින්ම මොරටුව සරසවි නේවාසිකාගාරයට රාත‍්‍රී කාලයේ ඇතුළු වී එහි වූ ජංගම දුරකථන සොරකම් කළ බවත් රාත‍්‍රී කාලයට නේවාසිකාගාර තුළට පහසුවෙන්ම රිංගාගත හැකි බව හෙළි වූ පසුව රටපුරා නේවාසිකාගාරවලට රිංගා සොරකම් කරන්නට වූ බවත් හෙළි කර ඇත.

මෙම භාණ්ඩ විකුණා ලද මුදල්වලින් මොවුන් හෙරොයින් පානයට පුරුදු වී ඇතැයි හෙළිවී තිබේ.
මාතර කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ යටතේ පොලිස් සැරයන්වරුන් වන වසන්ත (55810*, ඉඳුනිල් (55988*, පොලිස් කොස්තාපල්වරුන් වන වීරරත්න (59090*, කපිල (73025*, තිලකරත්න (62132*, ජගත් (52852*, රණසිංහ (33598* යන නිලධාරිහු වැටලීමට එක්වූහ. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්