පහේ ශිෂ්‍යත්වේ එක දෙක තුන දිනාගත් අයගේ විස්තර පළවෙනියා වෙනුජ ගුරු දෙමාපිය දරුවෙක් දෙවැනියා මාලක නාවික නිලධාරී දරුවෙක් සම තුන්වෙනි යශෝදරාගේ පියාත් ගුරුවරයෙක් සම තුන්වෙනි ෆාතිමාගේ පියා විදේශ රැකියාවේ


මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඩබ්ලිව්.ඒ. වෙනුජ නිම්සත් ශිෂ්‍යයා ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබාගත්තා.
වෙනුජ නිම්සත් ශිෂ්‍යයා ඇඹිලිපිටිය ජනාධිපති විදුහලින් 1 වසර සිට 04 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා පසුව 5 ශ්‍රේණිය අධ්‍යාපනය ලැබීම සඳහා ඇඹිලිපිටිය ක. ද්වි. ආදර්ශ පාසලට ඇතුළත්වූවෙකි. එම දරුවාගේ මව වන පී.කේ. අතපත්තු මහත්මිය එම විද්‍යාලයේ චිත‍්‍ර විෂය භාර ගුරුවරියක් වන අතර පියා ඩබ්ලිව්.ඒ. තිලකරත්න මහතා ඇඹිලිපිටිය ශ‍්‍රී කාවන්තිස්ස රාජමහා විහාර පිරිවෙනේ ගණිත ගුරුවරයෙකි. ඔහුට තවත් සොයුරෙකු සිටී.
වෙනුජගේ පන්තිය

භාර ආචාර්ය ලෙස වී. එල්. ධර්මසිරි මහතා කටයුතු කරයි.
වෙනුජ නිම්සත් කියා සිටින්නේ,
අපේ ගෙදර ටී. වී. එකක් නැහැ. රේඩියෝ එක විතරයි තියෙන්නෙ. ඒ නිසා මම නිතරම පොත්පත්වල වැඩ කළා. ටී. වී. බලන්න මට  ඕන වුණෙත් නැහැ. විජය පත‍්‍රය ඇතුළු පත්තර කියෙව්ව. අමතර පන්තියකට ගියේ නෑ. ඉංග‍්‍රීසි පන්තියකට ගියා. පන්තියේ

කටයුතු බරක් නැතිව කළා. මගේ දෙමාපියන් සහ ගුරුවරු, මා අධ්‍යාපනය පැත්තටම යොමුකළා. ක‍්‍රීඩා කටයුතු හා චිත‍්‍ර ඇඳීමත් හොඳින් කළා. මගේ නංගිලා මල්ලිලාගෙන් මම ඉල්ලන්නෙ හොඳින් ඉගෙනගෙන මං වගේ ජයග‍්‍රහණයක් ලබාගන්න කියලයි. මගේ අනාගත බලාපොරොත්තුව තමයි හොඳින් ඉගෙන ගෙන ඉංජිනේරුවරයෙක් වීමයි‘
ගුරුවරියක වන දරුවාගේ මව පී.කේ. අතපත්තු මහත්මිය කියා සිටියේ,
”මමත් මගේ මහත්තයත් දෙන්නම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් දුන්නා. දරුවාව නිතර නිතර බලෙන් පාඩම් කරවන්න උත්සාහ කෙරෙව්වෙ නැහැ. එයාට නිදහසේ අධ්‍යාපනය කරන්නට ඉඩ දුන්නා. දරුව සෙල්ලම් ගෙවල් හදල තම එකම මල්ලියත් එක්ක සෙල්ලම් කළා. ක‍්‍රීඩා කළා. බාහිර කටයුතුවලටත් දක්ෂයි. මේ ජයග‍්‍රහණය පිළිබඳ මව්පියන් විදිහට සතුටුයි.’


දෙවැනි තැන දිනූ මාලක නෙත්මාල්

මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් පොළොන්නරුව රාජකීය කනිෂ්ඨ ප‍්‍රාථමික විද්‍යාලයේ එච්. ඇම්. මාලක නෙත්මාල් තිලකරත්න සිසුවා දෙවැනි තැන ලබාගත්තේ ලකුණු 198 කිනි.
පොළොන්නරුව නව නගරය උඩවෙල පාරේ පදිංචිව සිටින මාලක සිසුවාගේ පියා ගයාන් චාමින්ද තිලකරත්න මහතා ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන අතර, මව ඉරේෂා පද්මිණී මහත්මිය ගෘහණියකි.
මාලක නෙත්මාල් සිය ජයග‍්‍රහණය ගැන කියා සිටියේ,
‘මට දෙවැනි තැන ලැබෙයි කියල හිතුවෙ නෑ. ඒත් හරිම සතුටුයි. පන්තිභාර ගුරුතුමා කියාදුන් විදිහට මම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වුණා. අම්මාත් තාත්තාත් උදව් කළා.කවදහරි මං වෛද්‍යවරයෙකු වෙන්න කැමතියි.’
ඉරේෂා නිල්මිණි මහත්මිය සිය දරුවාගේ ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවාය.
මම හිතුවේ නැහැ මගේ පුතා ලංකාවෙන්ම දෙවැනි තැනට පත්වෙයි කියා. නමුත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන බව මම දැන සිටියා. පුතා පාසැල් ගොස් ගෙදර පැමිණි පසුත් හොඳින් පාඩම් කළා. පොළොන්නරුව වැනි දුෂ්කර පළාතක ජීවත්වන අපේ දරුවෙකු මෙසේ ජයග‍්‍රහණය ලැබීම රාජකීය කනිෂ්ඨ විදුහලටත් විශාල ගෞරවයක්’.


සම තෙවැනි තැන දිනූ සහනි යශෝධරා

මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් තෙවැනි තැන දිනූ සහනි යශෝධරා ගුණසේකර ලකණු 197 ක් ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකි.
ඇගේ පියාද පිරිවෙන් ගුරුවරයෙකි. මව සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකාර සහකාරවරියකි.
ගම්පහ-බෙම්මුල්ල-පිටියේගෙදර කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය සිය ජයග‍්‍රහණය ගැන කියා සිටියේ,

‘මේ ශිෂ්‍යත්ව විභාගය මම ඉහළින්ම සමත් වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා
මම පාන්දර 4.00ට නැගිටලා පාඩම් කරනවා. පාඩම් කරලා තමයි ඉස්කෝලෙට යන්නේ. ඉස්කෝලෙ ඇරිලා ආපුවාමත් හවසට ටිකක් සෙල්ලම් කරලා ඊට පස්සේ පාඩම් කරනවා.
ඉවරවෙන වෙලාවක් කියන්න බෑ. මට හරියට අවබෝධ වෙනකල් පාඩම් කරනවා. පංති භාර ටීචර් සුජීව සමන්ප‍්‍රිය සර් අපිට මහන්සිවෙලා ඉගැන්නුවා.
මගේ අම්මයි තාත්තයි දෙන්නම මට හැමවෙලේම හොඳට ඉගෙන ගන්න ඉතුරුවෙන්නේ එච්චරයි කියලා කියනවා.
විභාගෙට ගියාම ප‍්‍රශ්න පත්තරේ අතට ගත්ත ගමන් පළවෙනි ප‍්‍රශ්නෙම මම ඊට ඉස්සෙල්ලා පොත්වලින් කියවපු එකක් තිබුණේ. මට හරි සතුටුයි. සේරම ප‍්‍රශ්න ටිකට උත්තර මම දන්නවා. පොත් කියැවීමේ ප‍්‍රතිඵලය තමයි ඒක.
විදුහල්පති අසේල ඉන්දික සර් අපිට යහමඟ කියලා දීලා හොඳට ඉගෙන ගන්න උදවු කරනවා. මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවරයකු වීමයි.

හසිනී ගේ මව එම්. විජයලතා මහත්මිය කියා සිටියේ,
 ‘දුව අධ්‍යාපනයට මුල්තැන දීලා වැඩ කරන්නේ. මේ දුව හරිම ආගම දහමට ලැදියි. රූපවාහිනි නම් බලන්නේ නෑ. ගෙදර ටීවී නැහැ. පොත් පත්තර තමයි තියෙන්නේ.’



සම තෙවැනි තැන දිනූ ෆාතිමා සාමා

මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සම තෙවැනි තැන මාවනැල්ල සහිරා විදුහලේ ෆාතිමා සාමාට ලකුනු 197 ක් ලබා හිමි විය.

ෆාතිමා සාමාගේ පියා විදේශ රටක සේවය කරයි. ඔහු තම දියණියගේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් මාස තුනක් ම නිවාඩු ගෙන පැමිණ දියණියගේ අධ්‍යාපන කටයුතුවලට අත දුන්නේය. ෆාතිමාගේ එකම සොයුරා ද ශිෂ්‍යත්ව විභාගය සමත් වී සහිරා විද්‍යාලයේ ම ඉගෙනුම ලබයි. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙයි.

ශිෂ්‍යත්ව විභාගයෙන් දෙමළ මාධ්‍ය සිසුවකු මෙතෙක් ලබාගෙන ඇති උපරිම ලකුණු වන ලකුණු 197ක් ඇය ලබාගෙන තිබේ. මොහොමඞ් නිස්වර් ෆාතිමා සාමාගේ මව එම්.රජ්වුන්නියාය. ඇය ගෘහණියකි. කටාර් රාජ්‍යයේ සේවය කරන මොහොමඞ් නිස්වර් පාතිමාගේ පියාය.

ෆාතිමා සාමා ජයග‍්‍රහණය ගැන මෙසේ කීවාය.

”මම මෙවැනි ජයග‍්‍රහණයක් ලැබේවි යැයි සිතුවේ නැහැ. ලංකාවෙන්ම දෙමළ මාධ්‍යයෙන් පළමුවැනියා වී මගේ සහිරා විද්‍යාලයට ගෞරවයක් ගෙන ඒමට ලැබීම ගැන මම අවංකවම

සතුටු වෙනවා. විභාගය සඳහා විශේෂ කැපවීමක් මං කලේ නෑ.එදිනෙදා කටයුතු පාසල නිමාවෙන් පසු කළා. රාත‍්‍රී නවය වනවිට නිදා ගැනීමට පුරුදු වෙලා අලූයම පහයි තිහට අවදි වුණා.ජයග‍්‍රහණය ගැන සතුටුයි.මං කවදහරි වෛද්‍යවරියක වෙන්න බලාපොරොත්තු වෙනවා.’

ශිෂ්‍යත්ව විභාගයට විශේෂ කැපවීමක් නොකළ ඇය විභාගයට පෙර දිනයේ තම පියා හා මව සමඟ මාවනැල්ල නගරයේ ඇවිද විනෝද වූවාය. විභාගයට පසු දින ඇයව පියා නුවරඑළිය ප‍්‍රදේශයේ චාරිකාවකට රැගෙන ගියේ ඇය විභාගය ඉහළින් ම සමත්වන බව ඔහු දැන සිටි බැවිනි. තම දරුවා විභාගයට උනන්දුවෙන් සූදානම් වන අයුරු දුටු ඔහුට එම විශ්වාසය ඇති වූවේ නිරායාසයෙන් යැයි ඇගේ මව කීවාය.



Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්