නිල සුනඛ රොනී අසල්වැසි තරුණයාගේ නිවසේ ඇඳ යටට ගොස් බිරූ නිසා අක්මීමන දැරියගේ ඝාතනය හෙළිවෙයි ආයුධ පෙන්වන්න යද්දී සැකකරු දිවි නසාගනී



ගාල්ල අක්මීමන පදිංචි අට හැවිරිදි දැරියක දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් අසල්වාසී 28 හැවිරිදි තරුණයෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ පොලිස් නිල සුනඛ රොනීගේ දක්ෂතාවය නිසාය.
පූජනී අසන්ති නමැති මෙම දැරිය තම වැඩිමහල් සහෝදරිය සමග පාසල් ගොස් පෙරේදා (17* පස්වරුවේ නිවසට පැමිණ ඇත. පසුව නැගණිය නිවසේ සිටියදී
වැඩිමහල් සහෝදරිය උපකාරක පන්තියකට ගොස් ඇත. මව තේ වත්තක දලූ කඩන රැකියාවක් කරන නිසා නිවසේ සිට ඇත්තේ දැරිය පමණි. පෙදරේරුවකු වූ දැරියගේ පියා ද එදින රැකියාවකට ගොස් තිබිණි.



මව පස්වරු 5.15 ට පමණ නිවසට එන විට බාල දැරිය නිවසේ සිට නැත. මව පූජනී දැරියට ”චූටි මැණිකේ” කියා කෑ ගසා ඇතත් ඇය සොයාගන්නට හැකියාව ලැබී නැත. පසුව දැරියගේ මව දැරියගේ අතුරුදන් වීම ගැන අක්මීමන පොලිසියට පැමිණිලි කොට ඇත්තේ පස්වරු 6.30ට පමණය.

දැරියගේ දේහය තේ පඳුරක් යට තිබෙන අයුරු මුලින්ම ප‍්‍රදේශවාසීන්ට පෙන්වා ඇත්තේ ඇය දූෂණය කර ඝාතනය කරන ලද තරුණයා විසින්මය. ඔහු දැරියගේ නිවසට මීටර් 200 ක් දුරින් පිහිටි නිවසක තනිවම විසූ අයෙකි.


මෙම පුද්ගලයා දැරිය ඇගේ නිවසේ සිට රැගෙන ගොස් ලඳු කැලයකදී දූෂණය කර ඇගේ ගෙළ සිරකර ඇති අතර ඇය මියගොස් නැතැයි යන සැකය මත ඇගේ ගෙළ නැවත ලණු පොටකින් සිර කර ඇතැයි පොලිසිය පවසයි.මෙම පුද්ගලයා රැකියාවක් නොකරන විකෘති කාමාශාවන්ගෙන් යුතු අයකු බවද පැවසේ.

ඝාතනය සිදු කරනු ලැබුවේ අසල්වැසි 28 හැවිරිදි තරුණයකු බව පොලිස් නිල සුනඛ ”රොනී” විසින් හඳුනා ගැනීමෙන් පසු සැකකරු අක්මීමන පොලිසිය විසින් ඊයේ (18* අත්අඩංගුවට ගනු ලැබිණ.පොලිස් නිල සුනඛ ”රොනී” ඝාතකයා පදිංචි නිවසට ගොස් ඔහුගේ ඇඳ අසල නතර වී බුරන්නට පටන්ගෙන ඇත. ඒ අනුව සැකකරු අත්අඩංගුවට පත්වූ අතර ඔහු පසුව ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබුණා.
ඝාතනයට ලක්ව ඇත්තේ දේමුනි පූජනී අසන්ති ලංකාතිලක ද සොයිසා නමැති දැරියකි. ඇය අක්මීමන, කුරුඳුවත්ත, සුමංගල විදුහලේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබුවාය.
දැරියගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. සී. ජී. පෙරේරා මහතා විසින් සිදු කරනු ලැබූ අතර දැරිය අපයෝජනයට ලක්කර ගෙල සිරකර මරා දැමූ බවට එහිදී අනාවරණය වී තිබේ.
අක්මීමන පොලිසිය සැකකාර තරුණයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී පොලීසියට ඇඳුම් වගයක් හා ආයුධය පෙන්වීමට අවශ්‍ය බව කියා යද්දී සැකකාර ගාමිණී කුමාර සමරවීර (28* මාදොළට පැන තිබුණා. එම අවස්ථාවේ තරුණයා දියේ ගිලී මියගිය අතර  ඔහු බේරාගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද ජලය පෙවී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. මේ සිද්ධිය වාර්තා වූයේ ඊයේ රාත‍්‍රී අටට පමණය.

සැකකරු පොලිස් නිල සුනඛ රොනීගේ සහයෙන් අල්ලාගත් හැටි වීඩියෝව පහතින්