අනියම් අඹු සැමි යුවල පැල තුලම මරා පුළුස්සලා

වැල්ලවාය අලූත්වෙල දඹේආර වැව අසල හේන් යායක පදිංචිව සිටි අනියම් අඹුසැමි යුවළක් හේනේ පැල තුළ සිටියදී ඊයේ (14) රාත‍්‍රී ඝාතනය කොට පුළුස්සා දමා ඇත. ඝාතනය කොට ඇත්තේ වෙහෙරයාය පදිංචි කරවිල අත්තගේ ලීලාවතී (46)නමැති සිව්දරු මවක හා ඇයගේ නියම් සැමියා වන සුමිත් කුමාර (26) නැමති අයෙකි.
මිය ගිය කාන්තාව මීට වසර හතරකට පමණ ඉහතදී තම සැමියා හා
දරුවන් හැරදමා වෙනත් තරුණයෙකු සමග ගොමඩියහෙළ හේන්යායේ පදිංචියට පැමිණ ඇත. ඇයගේ සැමියා හා දරුවන් මාතර ප‍්‍රදේශයේ පදිංචියට ගොස් තිබේ. පොලීසියට ල
ද නිර්ණාමික දුරකථන පණිවුඩයකින් පස අදාළ හේන්යායට ගොස් පරීක්ෂා කිරීමේදී නිවස තුළ පිළිස්සී මිය ගිය දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත.

මෙම කාන්තාව කලින් විවාහයේ දරුවන් සිව්දෙනාද අත හැර මෙම තරුණයා සමග හඹේවැව ප‍්‍රදේශයේ හේනක පිහිටි නිවසක ජීවත්වී ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

මෙම මරණවලට හේතුව ඊයේ දහවල් වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

වැල්ලවායේ සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි කැලෑ ප‍්‍රදේශයක මෙම හේන පිහිටා තිබෙන බව පොලිසිය පවසයි. හේනේ පිහිටි කුඩා නිවස පෙරේදා රාත‍්‍රී ගිනිගෙන ඇති අතර මොවුන් දෙදෙනා ඒ තුළම මරුමුවට පත්ව සිටි බව පොලිසිය පවසයි.

මෙම මරණය සිදුවී ඇති අන්දම විමර්ශනය කිරීමේදී සැකසහිත සාක්ෂි කීපයක් ලැබී ඇති බවද පොලිසිය කියා සිටියි. මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දැඩි ලෙස පිළිස්සී විනාශ වී තිබිණි.

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් මත වැල්ලවාය පොලිස් ස්ථනාධිපති නිශාන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.