සනත් අංකල්ගෙ සින්දුව කියල ලොකු ගාණක් හම්බවුණා - අමල්

”විකසිත වත කමලේ” ගීතයට අමල් කැමැති වෙන්නේ කොයි කාලේ ඉඳලද...?
මේ සින්දුව මට ඇහෙන කොට මට වයස ඇති  ඕන නම් 13ක්, 14ක් විතර. එතකොට ඔය ඛ්ච් එහෙම තිබුණේ නෑ. කැසට් පටවල රෙකෝඞ් කරගෙන මගේ යාළුවෙක් එක්ක තමයි ඔය සින්දුව ඇහුවේ. මොකද ඒ යාළුවාට කැසට් එකක් තිබුණා.


ඒ යාළුවා එක්ක දවස පුරාම අහනවා. ඒ අහපු සින්දුව තමයි ”විකසිත වත කමලේ”.
අමල් ”විකසිත වත කමලේ” ගීතය ඊට පස්සේ ගායනා කරන්නත් පටන් ගන්නවා නේද?
ඔව්. ඊට පස්සේ මට ඒ ගීතයට ආසවෙලා ගීතය අහලා කාලය ගෙවිලා ගියානේ. ආයෙත් ඉතාම මෑත කාලයකදී පාටියක් වෙලාවක අපි යාළුවෝ එකතු වෙලා ඉන්න
තැනකදී මම මේ ගීතය ගිටාර් එක ගහලා කිව්වා. ඊට පස්සේ එතැන හිටපු අයටත් මේක කලින් දන්න සින්දුවක් නිසා හොඳට මතක හිටියා. එදා ඉඳලා මගේ යාළුවෝ නිතරම වගේ මචං ”විකසිත වත කමලේ...” කියපන් කියලා කියන්න පටන් ගත්තා.


එතනින් නවත්තන්නෙත් නෑ අමල් ඊට පස්සේ ගීතය රීමික්ස් කරනවා.
ඇත්තටම මම ඔය ගීතයට හරිම ආසයි. මොකද ක්ලැරන්ස් විෙ–වර්ධන මහත්තයාගේ මෙලඩි එකක්. මාර...ම ලස්සනයි. මේක ඉතින් තැන තැන කියන කොට මගේ යාළුවෙක් ඇවිල්ලා ”විකසිත වත කමලේ” රිගින් ටෝන්වලට කරන්න පුළුවන්. කරමුද කියලා ඇහුවා.


ඉතින් අමල් හා කිව්වා...?
මම කිව්වා වැඩක් නෑනේ මං මොකටද එහෙම කරන්නේ කියලා. සනත් අංකල්ගේ සින්දුවක්  ඕක කරන එක හරි නෑ. මගේ තාත්තාගේ හොඳම යාළුවෙක්. මාව දැක්ක තැන සනත් අංකල් පුතේ කියලා කතා කරනවා. ඒ හින්දා  ඕක කරන එක හරි නෑ කිව්වා.


ඒත් ”විකසිත වත කමලේ” අමල්ගේ හර්ඩින් රී මික්ස් වෙනවානේ?
ඔව්. ඒ වෙලාවේ යාළුවා කිව්වා නෑ නෑ එහෙම නෑ. මේක අරගෙන තියෙන්නේ මචං. උදේශ් ඉන්දුලත් මේක කියලා තියෙනවා කිව්වාම මම ඇහුවා ඒ කියන්නේ සින්දුව දීලද තියෙන්නේ කියලා. එතකොට ඔහු කිව්වේ සින්දුව ලියපු කෙනයි මියුසික් කරපු කෙනා වෙනුවෙන් අයිතිය තියෙන අයගෙනුයි සින්දුව හම්බ වෙලා තියෙනවා කියලා.


ගීතය රීමික්ස් කරන තැනටම හිත හදාගත්තේ කොහොමද...?
ඇත්තටම ඒ අවස්ථාව වෙනකොට රිගින් ටෝන් කම්පැනි එක මට ඔෆර් කරලා තිබුණ ගාණත් එක්ක මම හිතුවා මේක මම නොකිව්වත් වෙන කවුරුහරි කියනවානේ කියලා. ඒ නිසා ඒ වෙලාවේ මම කැමැත්ත දුන්නා.


සල්ලි දෙනවා නම්  ඕන දෙයක් කරන කාලයක් මේක. අමල් සල්ලි නිසා මේ තීරණය ගත්තා නේද..?
මුදල්මයි කියන තැනක ඉඳලා නෙවෙයි මම මේක කළේ. නමුත් එයාලා මට සෑහෙන ප‍්‍රමාණයක් මුදල් ගෙව්වා. ඒ ගෙවන කොටත් මම එයාලට කිව්වේ පුළුවන් නම් මට මේ කරන විදියටම සනත් අංකල්ටත් කරන්න කියලා. නමුත් බිස්නස් කරන අයට එහෙම හැඟීමක් නෑ.


රීමික්ස් කරන්න කැමැත්ත දෙන්න කලින් සනත් නන්දසිරි මහත්මයට කියන එක නේද යුතුකම?
ඇත්තටම මට සනත් අංකල්ට කියන්න බැරි වුණා. මම ඒ දවස්වල වැඩ කීපයක් එක්ක හිරවෙලා හිටියේ. නමුත් එහෙමයි කියලා පැහැර හැරීමක් වුණා කියන එක හරිම සවුත්තු කතාවක්. මම කරලා තියෙන්නේ වැරැද්දක්.
මේ නිසා සනත් නන්දසිරි මහත්මයා ඉන්නේ වේදනාවෙන්?
මේ ගීතය කොයි විදියට හැදුණත් අවසානයේදී මට කියන්න තියෙන්නේ මගේ අතින් වැරැද්දක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මම මේ ගීතය ගායනා කරපු එක ඇත්තටම වැරැදියි කියලා තමයි මම කියන්නේ. නමුත් මේක දැන් වෙලා ඉවරයි.


ගීතය රී මික්ස් කරන්න කලින් නේද ඔය දේවල් හිතන්න තිබුණේ.
සනත් අංකල්ට මගෙන් නීතිමය වැරැද්දක් වෙලා නෑ. මානුෂීය වැරැද්දක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මොකද හේතුව ගීතයේ පද රචකයාට සහ තනු නිර්මාපකයාට තමයි ගීතයේ අයිතිය තියෙන්නේ. නීතිමය වලංගු භාවය මම ඒ වෙද්දි දැනගෙන හිටියා. මෙතැන තියෙන්නේ මගේ හෘද සාක්ෂියට දැනෙන පසුතැවීමක්.


ගීතය රීමික්ස් කළාට පස්සේ සනත් නන්දසිරි මහත්තයව මුණ ගැහුණද...?
මේකට මම සනත් අංකල්ගෙන් සමාව ඉල්ලූවා. ඔය සින්දුව කියලා ඉවර වුණාට පස්සේ එකම එක දවසක් සනත් අංකල්ව මට මුණ ගැහුණා. සාරංග දිසාසේකරගේ වෙඩින් එකේදි. ඒ හම්බ වුණ දවසේ මූණට මූණ දැක්කම මගේ පපුව හෝස් ගාලා ගියා. මම සනත් අංකල් ළඟට ගිහින් ”සනත් අංකල් මට සමාවෙන්න” කිව්වා.
ඉතින් සමාව ලැබුණද?
සනත් අංකල් මගෙන් ඇහුවා ඒ මොකටද කියලා. ඒ වෙලාවේ ටේබල් එකේ සෙනඟ හිටියා. ඒ තිබුණ වටපිටාවත් එක්ක අංකල් මම පස්සේ කතා කරන්නම් කියලා මම ආවා.


ඊට පස්සේ කතා කළාද? එතුමාව මුණ ගැහෙන්න ගියාද?
අදටත් මම  ඕනම දෙයක් කෙළින් කතා කරන කෙනෙක්. එහෙම වෙලත් දැනටත් මට සනත් අංකල් ළඟට ගිහින් කෙළින් කතා කරගන්න අමාරුයි. මොකද මගේ අතින් වෙච්ච වැරැද්දක් කියලා මම දන්නවා. මට සමාව ඉල්ලන්න තේරෙන්නේ නෑ.  ඕන නම් පුළුවන් ප‍්‍රසිද්ධියේ ගිහින් සනත් අංකල්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ඉල්ලන්න. ඒත් මම හිතන්නේ නෑ සනත් අංකල් මාව ඒ තැනටම පත් කරයි කියලා.


සනත් නන්දසිරි මහත්මයා ගායනා කරපු ගීතය ඔබේ අතින් විකෘති වුණාද?
මම ඒ ගීතය විකෘති කිරීමක් කිසිසේත්ම කළේ නෑ. මම කියන්නෙත් සනත් අංකල් කියපු එකම තමයි. බීට් එක විතරයි වෙනස්.
විකසිත වත කමලේ නිසා දැන් කාටත් වඩා අමල් සිත් වේදනාවෙන් ඉන්නවා වගෙයි පේන්නේ.
මට සනත් අංකල්ව දැනෙන්නේ මගේ තාත්තා වගේ. මට තියෙන එකම දුක මම අංකල් කියලා කතා කරන, පුතේ කියලා දැක්ක තැන මාව බදාගන්න මිනිස්සු. මල්කාන්ති ඇන්ටි මාව දැක්ක තැන පුතේ කියලා මගේ මූණ ඉඹිනවා. මට දැන් මතක් වෙද්දි මගේ කකුල් පණ නැතිවෙලා ඉන්නේ. මම මොකක්ද මේ මිනිස්සුන්ට කරගත්තේ කියලා මතක් වෙනවා.


වෙච්ච වැරැද්ද හදාගන්න ක‍්‍රමයක් ඇත්තෙම නැද්ද?
මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ සමාව ඉල්ලීම විතරයි. මම විශ්වාස කරන විදියට ලෝකේ තියෙන නරකම වචන දෙක තමයි ”සොරි” කියන එකයි ”තැන්කියු” කියන එකයි.  ඕනම වැරැද්දක් කරලා සොරි කියන්න ලේසියි. ඒ වගේමයි  ඕනම උපකාරයකට තැන්ක්යු කියලා බේරෙන්නත් ලේසියි. ඒත් අද මටත් ”සොරි” කියන්න සිදුවෙලා. මම දැන් හිතනවා හරි තැනදි හරි විදියට පාවිච්චි කරනවා නම් ලෝකේ තියෙන වටිනාම වචන දෙකක් ”සොරි” සහ ”තැන්ක්යු” කියන වචන දෙක කියලා. මේක මගේ මානුෂීය ඉල්ලීමක්. හදවතට දැනෙන පසුතැවීමක්.

වාසනා සුරංගිකා විතානගේ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්