අනුර කුමාරගේ වේදිකාවට ගිනි තියලා

බඩල්කුඹුර නගරයේ ප‍්‍රාදේශීය සභා භූමියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26දා* පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද ප‍්‍රචාරක රැලියේ පෙර සූදානම් කටයුතු අතරතුර අලූයම් කාලයේදී අවි ආයුධ රැගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් එහි සංවිධායක පිරිසට පහරදී අහසට වෙඩි තබා ඔවුන් පලවා හැර සැරැසිලි
කටයුතු සියල්ල කඩා බිඳ දමා, රැලිය පැවැත්වීමට සූදානම් කර තිබූ වේදිකාවටද ගිනි තබා විනාශ කර තිබේ.
ඊයේ (26දා* අලූයම් කාලයේදී ඇති වූ මේ ගැටුමේදී බඩල්කුඹුර පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුද තුවාල ලබා බඩල්කුඹුර දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ජන රැලියේ පෙර සූදානම් කටයුතු ආරම්භ කරනු ලැබූ පෙරේදා (25දා* දිනයේ සවස් භාගයේ සිට බඩල්කුඹුර
ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තවත් කිහිප දෙනකු විසින් ජන රැලිය සඳහා කොඩිවැල් එල්ලීම, පතාක දැමීම, ශබ්ද විකාශන යන්ත‍්‍ර සවි කිරීම ආදී කටයුතු සඳහා සීමා පනවා ප‍්‍රචණ්ඩත්වයක් ප‍්‍රදර්ශනය කරමින් සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක ආර්. එම්. ජයවර්ධන මහතා පැවැසීය.
ඊට අමතරව පෙරේදා (25දා* රාත‍්‍රියේ වීදි පහන් කණුවල විදුලිය පවා විසන්ධි කරමින් බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩි මහතා මේ රැස්වීම කඩාකප්පල් කිරීම වෙනුවෙන් කෙමෙන් කෙමෙන් ප‍්‍රචණ්ඩකාරී ලෙස සංඥා නිකුත් කළ බව ජයවර්ධන මහතා කීය.

එදින රාත‍්‍රි 10ට පමණ උප සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් රැගත් මහේන්ද්‍රා වර්ගයේ ජීප් රථයක් රැලියේ පෙර සූදානම් සැරැසිලි කටයුතු කරන සංවිධායකයන් දෙස නිරීක්ෂණය කරමින් නගරය පුරා සැරිසැරූ බවත්, ඉන් අනතුරුව රාත‍්‍රි 11.30ට පමණ වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් එකවරම පොලූ මුගුරුවලින් රැලියේ සංවිධායක කටයුතුවල නිරතව සිටි පිරිසට පහර දුන් බවද ඔහු කීය.
මේ පහරදීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජයවර්ධන මහතා පැවැසුවේ මෙවැන්නකි.
රාත‍්‍රි 11.30ට පමණ එකවර වෑන් රථ දෙකකින් පැමිණි පිරිස අපිට දිගට හරහට ගහන්න ගත්තා. ඒ මොහොතේ අපේ පිරිස හා ඔවුන් අතර ගැටුමක් ඇති වුණා. ඒ අවස්ථාවේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකුත් හිටියා. එහෙත් ඔවුන්ට එය පාලනය කරගන්න බැරි වුණා.
මේ පහරදීමට සම්බන්ධ සන්ධානයේ මැර පිරිස අපි දැක්කා. ටවුන් එකේ ස්ථාපිත කරලා තිබෙන සන්ධානයට අයත් මැතිවරණ කාර්යාලයේ ඉඳලා තවත් විශාල පිරිසක් අපේ රැලියේ සංවිධාන කටයුතු තිබෙන පැත්තට දුවගෙන ආවා. ඒ වෙලාවේ 45ක් 50ක පමණ පිරිසක් හිටියා.
විනාඩි 40ක් පමණ ඔවුන් අපිට ගැහුවා. අපේ අය දුවන්න ගත්තා. ඔවුන් අපිට එළවා එළවා ගැහුවා.
ඉන්පසුව රාත‍්‍රි 12.30ට විතර අපේ දුවන අයගේ පිටුපස ”ඩිෆෙන්ඩර්” වර්ගයේ ජීප් රථ හතරක් පැන්නුවා. අපි දුවද්දි අපිට වෙඩි තියන සද්දෙත් ඇහුණා. පාරේ දුවපු අපේ අය කැලෑ පැන්නා. එතැන හිටපු අපේ අයව හොය හොයා ගැහුවා. ඒ ඩිෆෙන්ඩර්වලින් ආවේ මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ කට්ටිය කියලා අපිට ආරංචි වුණා.

අපි පෙරේදා (25දා* ? එළිවෙනකම් කැලෑවේ හැංගිලා ඉඳලා ඊයේ (26දා* එළිවන විට ආපසු එළියට ආවා. රැස්වීම තියන තැනට ගිහිල්ලා බලද්දී අපේ සැරැසිලි ඔක්කොම කඩා බිඳලා දමලා. පතාක ඉරලා විසි කරලා. වේදිකාවට ගිනි තියලා. ශබ්ද විකාශන යන්ත‍්‍ර තළලා පොඩි කරලා දමලා තිබුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්