හොරෙක් පසුපස යද්දී අනතුරට ලක්වුණ ප‍්‍රංශ තරුණියට ප‍්‍රතිකාර කරන්න රජයේ රෝහලින් ලක්ෂ 12ක්

පසුගියදා ශ‍්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණ අනතුරට පත් ප‍්‍රංශ ජාතික තරුණියකට ලංකාවෙන් සලකා තිබෙන ආකාරය මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ කළු පැල්ලමක් එක්කර තිබෙනවා.
ඇය අනුරාධපුර ලංකාරාමය ආසන්නයේ ගමන් කරද්දී වටිනාදේ ඇති ඇගේ ගමන් මල්ල කොල්ලකරුවකු පැහැරගෙනයාමෙන් පසු ඔහු පසුපස දිවයද්දී ඇයව ටිපර් රථයක හැපී බරපතල අනතුරට ලක්වූ අතර පසුව ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර එයින් පිටව යාමේදී රුපියල් දොළොස්
ලක්ෂයකට වැඩි මුදලක් අය කර තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිවරයා හඳුන්වාදුන් නීතිරීති අනුව ලංකාවේ පුරවැසිභාවය නැති අයට රජයේ රෝහල්වලින් නොමිලේ ප‍්‍රතිකාර නැතිය යන නීතියට මෙම අයකිරීම සිදු කර ඇතත් ඇයට ලංකාවේ සංචාරය සඳහා පැමිණීමෙන් වූ අගතිය සම්බන්ධව බලධාරීන් කිසිවෙකු බලා නොතිබීම ලංකාවට එන්නට අදහස් කරන අනාගත සංචාරකයින්ට සුබවාදී පණිවිඩයක් නොවේ.
අනුරාධපුර වටවන්දනා පාරේ ලංකාරාමය ආසන්නයේදී ඉකුත් 9 වැනිදා ටිපර් රථයක හැපීමෙන් බරපතළ ලෙස තුවාල ලැබුවේ අංක 5, හාන්ට් එමලි රෝඞ්, සිංගප්පූරුව ලිපිනයේ පදිංචි ප‍්‍රංශ ජාතික ෆෙලෝරී ලැන්රට් (25* මෙනවියයි. ඇය අංක 21 පාර රයිසේ, ප‍්‍රංශය ලිපිනයේ පදිංචි සිය මිතුරිය වන ෆෙඞ්රිඞ් බෙස්කොට් 26 මෙනවිය සමඟ ඉකුත් 8 වැනිදා සංචාරයකට අනුරාධපුරයට පැමිණ තිබේ.
ඔවුන් දෙදෙනා පාපැදිවලින් අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි සඳකඩපහණ නරඹා වට වන්දනා මාර්ග ඔස්සේ
ලංකාරාමය දෙසට පාපැදියකින් එමින් සිටියදී අනතුරට ලක් වූ තරුණියගේ ඇමෙරිකානු ඩොලර් 1500ක්, ශ‍්‍රී ලංකා මුදල් රුපියල් 60,000ක්, බ්ලැක් බෙරි වර්ගයේ රුපියල් 45,000ක් වටිනා ජංගම දුරකතනයක් හා කැනන් වර්ගයේ වටිනා ඩිජිටල් කැමරාවක් සහිත බෑගය සොරකු විසින් පැහැරගෙන පලාගොස් තිබිණි.
මුදල් සහිත බෑගය පැහැරගෙන යෑම නිසා කලබලයට පත් තරුණිය සොරුන් පසුපස පාපැදියෙන් හඹා යද්දී ඇදවැටී පස් පැටවූ ටිපර් රථයකට යටවී බරපතළ තුවාල ලැබුවාය. අනතුරෙන් ඇගේ උකුල් ඇටයට බරපතළ හානි සිදුව තිබූ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇයට සැත්කම් කිහිපයක්ම සිදු කර තිබිණි.
ඒ සඳහා රුපියල් 12,50,000කට ආසන්න මුදලක් රෝහල් ගාස්තු වශයෙන් ශික්ෂණ රෝහල අය කර ඇති බව වාර්තා විය.
සෞඛ්‍ය, විදේශ කටයුතු සහ සංචාරක කටයුතු අමාත්‍යංශ ආදී ආයතන එක්වී එම තරුණියට ප‍්‍රතිකාර නොමිලේ කරලීම සඳහා අවස්ථාව උදාකර දීමට කටයුතු කළේ නම් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කෙරෙහි යම් පැහැදීමක් හෝ ජාත්‍යන්තරය තුළ ඇති වන බව සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පෙන්වා දෙති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දින 3කට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ලැබූ ප‍්‍රංශ ජාතික තරුණියගේ පෙම්වතා පසුගිය 11 වැනිදා ලංකාවට පැමිණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඇයව කොළඹට ගෙන යනු ලැබ ඇත.

ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබන අතර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ප‍්‍රංශයට රැගෙන යෑමට නියමිතය. අනතුරට ලක්වූ තරුණියට පූර්ණ ජීවිත ආරක්ෂණයක් ඇති බවත් අදාළ රක්ෂණ සමාගමෙන් වන්දි ගෙවා ඇති බවත් අනාවරණය විය.

මේ තරුණියට ප‍්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 6 1/2ක මුදලක් අය කළ යුතු බවත් එයින් ලක්ෂ 2 1/2ක් ආපසු ගෙවන තැන්පතුවක් ලෙස ලබාගත් බවත් පැවැසූ රෝහල් අධ්‍යක්ෂවරයා ඇගේ උකුල් අස්ථියේ බිඳීමක් හේතුවෙන් සවි කරන ලද කෘත‍්‍රිම උපකරණයක් ඇතුළු ප‍්‍රතිකාර සඳහා එකී මුදල අයකළ බවත් කීවේය.

ලංකාවෙන් පිටව යන ඇයට හෝ සිදුවීම ගැන දන්නා ඇගේ රටේ සෙසු අයට යළි මෙහි එන්නට අදහසක් ඇත්දැයි සැක සහිතය.

මහේෂ් පටබැඳිගේ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්