සාප්පුගිය තරුණිය වෙනුවෙන් උපාධිධාරීන් පෙලපාලි ගිහින්

දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවිසලකින් ඇඳුම් මිලදී ගැනීමට පෙරේදා සවස (12දා) පැමිණි තරුණියන් දෙදෙනකුට එම වෙළෙඳසලේ තරුණ සේවකයකු විසින් අතවර කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියකට විරෝධය දක්වා දඹුල්ල උපාධිධාරී සංගම් සිදු කළ ඉල්ලීම් අනුව දඹුල්ල නගරයේ
සියලූම ව්‍යාපාරික ස්ථාන වසාදමා ව්‍යාපාරිකයෝ ඊයේ (13දා) විරෝධය දැක්වූහ.
දඹුල්ල නගරයේ සිංහල වෙළෙඳ සංගමය, ත‍්‍රිරෝද රථ සංගමය, දඹුල්ල උපාධිධාරී සංගම් නියෝජනය කරමින් සාමාජිකයන් පන්සියයකට (500) ආසන්න පිරිසක් එක් වී නගරයේ වෙළෙඳසල් වෙත පා
ගමනින් යමින් අත්පත‍්‍රිකා බෙදමින් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුම්වත් කළ අතර පස්වරු දෙක (2.00) දක්වා වෙළෙඳසල් වසා දමා විරෝධතාව දක්වන මෙන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටීම මෙහිදී සිදුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල නගරයේ ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමේ අවස්ථාවට දඹුල්ල පුරපති ජාලිය  ඕපාත, දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර, දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක යන දේශපාලනඥයෝද සහභාගි වී සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා රාත‍්‍රියේ තරුණියගෙන් ලද පැමිණිල්ලට අනුව වෙළෙඳසල් කළමනාකරු ඇතුළු සේවකයන් හතර දෙනකු දඹුල්ල පොලිසිය පෙරේදා (12දා) රාත‍්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන බී වාර්තා අංක 743/744 යටතේ කරුණු දක්වමින් සැකකරුවන් දඹුල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් පස්දෙනා මේ මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඉනාමළුවේ -තිලක විජයසූරිය