අතවර චෝදනා නිසා බිල් කොස්බිගේ ප‍්‍රසංග නවතා දමලා
ඇමරිකානු ජාතික කීර්තිමත් ටෙලිවිෂන් විකට නළුවෙකු වන 77 හැවිරිදි බිල් කොස්බි යොදවා ව්‍යාපාරයක් ලෙස කරගෙන යන ‘කොස්බි ෂෝ’ විකට ප‍්‍රසංගය හිටිගමන් නවතා දමන්නට එම සංවිධායකයන්ට සිදුව ඇතැයි වාර්තා වනවා. මෙයට හේතුවී ඇත්තේ මෙම ප‍්‍රකට විකට නළුවා විසින් කලින් කලට අතවරයට ලක් කරන ලද කාන්තාවන් ඔහුට එරෙහි චෝදනා ගොනු කිරීමත් එම ප‍්‍රසංග පවත්වන අවස්ථාවන්හි උද්ඝෝෂණ සංවිධානය කර තිබීමත්ය.
බිල් කොස්බි විසින් කාන්තාවන් 16 දෙනෙකු ලිංගික අතවරයට ලක් කර ඇති බව එම කාන්තාවන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති අතර මෙම 16 න් 12 දෙනෙකුම කියා ඇත්තේ කොස්බි විසින් මත්වන බෙහෙත් පොවා සිහිසුන් කර මේ අතවර කර ඇති බවයි.
1965 සිට 2014 දක්වාම කොස්බිට එරෙහි විවිධ අතවර චෝදනා නඩු අධිකරණයේ විභාගවී ඇති අතර ඇතැම්වා සාක්ෂි රහිතවීම නිසා යටගොස් ඇත.
කෙසේ වෙතත් ඔහු උසාවිය හමුවේ වරද පිළිගත් අවස්ථාද ඇත.
පසුගිය මාස 10 තුළ පමණක් ඔහුට එරෙහිව 5 දෙනෙකු නීතිය හමුවේ චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ අතර හිටපු ප්ලේ බෝයි මොඩල් දෙදෙනෙකු,පුවත්පත් ලේඛිකාවක හා හොලිවුඞ් නිළියකද වෙනවා.
බිල් කොස්බිගේ ජනප‍්‍රියතාව නිසා ඔහු කෙරේ කාන්තාවන් පහසුවෙන් සමීප වන බවත් ඔහු එය උදව්වක් කරගෙන ඔවුන් දැලේ දාගන්නා බවත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගියදා පළකළ ලිපියකින් හෙළිකර තිබුණා.
ග‍්‍රන්ථ කතුවරයෙකු, නළුවෙකු ගායකයෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප‍්‍රකට බිල් කොස්බි දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වන අතර වසර 50 ක්තිස්සේ දික්කසාද නොවූ බිරියද තවම ඔහු සමග ජීවත්වේ. ඔහුගේ අනාචාරයන් වාර්තාවන්නේ එසේ තිබියදීය.