කොරියාවේදී මියගිය තරුණයාගේ රන් බඩු විදේශ අමාත්‍යාංශයේදී අතුරුදන්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHsnNeURefuMV7F_a5hjY-v6lu5TJtbB-t1JqvDjaM87g5bO0A-n0Gsp2tV5fFJMLZdZ1uvJ0D5reqYtgZFJRkFBBQxc40HoBXZFHxlqVt0pZFf3N9wsmrL0iLcwa1Rvj-PvuCSVCnR1Yl/s1600/cash-for-gold-jewellery.jpg)
ඉකුත් ජුනි මස 12 වැනිදා සේවයේ නිරතව සිටින අතරතුර යන්ත‍්‍ර දෙකකට මැදිව සිරවීමෙන් සිදු වූ අනතුරකින් අරුණින්ද ප‍්‍රභාකර මහතා මියගොස් තිබේ. එම අවස්ථාවේ ඔහු පැළඳ සිටි රුපියල් තුන්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රන්මාලය සහ රිදී මුදුව කොරියාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිිබිණි.
අනතුරුව එම නිලධාරීන් විසින් ඒවා අරුණින්ද ප‍්‍රභාකර මහතාගේ බිරිඳ වන ශාලිකා සඳමාලි විෙ-රත්න මහත්මිය වෙත භාරදීම සඳහා ඉකුත් 07 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයට එවා තිබේ.
පසුව එම රන්මාලය සහ රිදී මුදුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එවා ඇති බවත්, ඒවා එම අමාත්‍යාංශයට ගොස් ලබාගන්නා ලෙසත් කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් අරුණින්ද මහතාගේ බිරිඳ දුරකථනයෙන් කළ විමසීමකදී දැනුම් දී ඇත.
ඒ අනුව ශාලිකා මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගොස් එහි තැපැල් ආරක්ෂක අංශයෙන් ඒ පිළිබඳව විමසීමේදී රන් මාලය හා රිදී මුදුව එම ඒකකයට ලැබීමෙන් පසු සැපයුම් අංශයට භාරදී ඇති බැවින් එමගින් ලබාගන්නා ලෙස එහි නිලධාරීන් පවසා තිබේ.
ශාලිකා මහත්මිය සැපයුම් අංශය වෙත ගිය අවස්ථාවේ තම අංශයට ඒවා ලැබී නොමැති බව පවසා සිටීම නිසා ඇය මේ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට දැනුම් දී ඇතත් මේ දක්වා තමන්ට ඒවා නොලැබුණු බව පැවසුවාය.
තම සැමියා දුක් මහන්සි වී උපයාගත් මුදලින් මිලදී ගත් රන්මාලය සහ රිදී මුදුවට සිදුවූයේ කුමක්දැයි පරීක්ෂණයක් පවත්වා සොයා බලා තමන්ට ඒවා සොයාදෙන ලෙස ශාලිකා සඳමාලි විෙ-රත්න මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නීය.
මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වන්දි අංශයෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශිකාවක් කියා සිටියේ අරුණින්ද ප‍්‍රභාකර මහතාට අයත් රන්මාලය සහ රිදී මුදුව තම අමාත්‍යාංශයට ලැබී ඇති බවට දැනගන්නට ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බවත්ය.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර, ශ‍්‍රාවස්තිවත්තේ පදිංචිව සිටි එස්. ඒ. අරුණින්ද ප‍්‍රභාකර නමැති තිස් හැවිරිදි තරුණයාට අයත් පවුම් හයක් පමණ බරින් යුත් රන්මාලයක් සහ රිදී මුදුවක් ඔහුගේ බිරිඳට භාරදීම සඳහා එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සැපයුම් අංශය වෙත එවීමෙන් පසු අස්ථානගත වී ඇත.