මං පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියමින් බයික් එක රිලීස් කරන්න කියලා

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා බව අඟවමින් දුරකතනයෙන් කතා කර මිරිහාන පොලිසිය භාරයේ තිබූ යතුරුපැදියක් මුදා ගැනීම සඳහා පොලිස් නිලධාරියකුට බලපෑම් කළ බව කියන සැකකරුවා අද (30දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය පෙරේදා (28දා) නියෝග කළාය.

මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොට්ටාව පාර ඇඹුල්දෙණිය ලිපිනයෙහි පදිංචි චතුර මාගල ජොරිසි එදිරිසිංහ
නමැත්තෙකි.

මිරිහාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් බණ්ඩාර  මහතා මෙම සිද්ධියේ පැමිණිලිකරු වන අතර ඔහු සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ඔහු ඉකුත් 27දා අලූයම් කාලයේ මිරිහාන පොලිසියේ අනතුරු විමර්ශන උප සේවා රාජකාරියේ යෙදී සිටි බවය.
එසේ රාජකාරියේ යෙදී සිටින විට එදින අලූයම එකට පමණ කිසියම් පුද්ගලයකු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන් අඟවමින් දුරකතනයෙන්

කීප අවස්ථාවකදීම කතා කර පොලිසිය භාරයේ තිබූ යතුරුපැදියක් මුදා හැරීමට බලපෑම් කළ බවද පසුව තමා ඒ පිළිබඳව උසස් නිලධාරියකුට දැන්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවද ඔහු කියා ඇත.


සැකකරු ඉකුත් 26 වැනි දින රාත‍්‍රියේදී නුගේගොඩ ප‍්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා යතුරුපැදියක් ධාවනය කර ඇති බවත්, පසුව ඔහු එම යතුරුපැදිය මහමඟ දමා පලා යෑමෙන් අනතුරුව එය මිරිහාන පොලිසිය භාරයට ගෙන ඇති බවත්, සැකකාර පුද්ගලයා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන් පෙනී සිටිමින් එය මුදා හරින ලෙස ඉල්ලා ඇත්තේ එම යතුරුපැදිය බවත් අධිකරණයෙන් අනාවරණය කෙරුණි.
සැකකාර පුද්ගලයාට දුරකතන ඇමතුම් ලබා ගැනීමට අවශ්‍ය දුරකතනයක් ලබාදුන් බව කියන නුවන් නදීර නමැත්තෙක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

කුමුදු උපුල් ශාන්ත

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්