නුගේගොඩ බෝගහ ගාවට හොරෙන් එන්න කියන ඉන්ටර්නෙට් මංගල යෝජකයා

අන්තර්ජාලයේ කාන්තාවන් රවටන අනංගයින් ගැන නොයෙකුත් ආරංචි වරින්වර වාර්තා වෙනවා. පසුගියදා පොලිසියට හසුවූ තවත් එවැනි පුද්ගලයෙකු තරුණියක රැවටීම සඳහා යොදාගෙන තිබුනේ අපූරු උපක‍්‍රමයකි. ඔහු අන්තර්ජාල වෙබ් අඩවි වල විවාහ සහකාරියක සොයන ආකාරයට මංගල යෝජනා පළ කර තිබුණ අතර ඔහු කියා තිබුනේ තමා ‘මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන ඉංජිනේරුවෙකු’ බවයි.

ඉහළ වැටුපක් හිමි නිවසක්ද හිමි තමා සමග එක්වන අයට සැපවත් ජීවිතයක් ගත කරන්නට හැකි බවත් ඒ සඳහා කැමති අයට අයදුම් කරන ලෙසත්
ඔහු ඉල්ලා තිබුණා.
විවාහ වීමට සුදුසු සහකාරියක සොයන බවට අන්තර්ජාලයේ ඔහුගේ දුරකථන අංකද ප‍්‍රසිද්ධ කර තිබුණ අතර ඔහු කියන දේවල් ඇත්ත යයි සිතූ තරුණියන් ගණනාවක් ඔහුට ඇමතුම් ලබාදී තිබුණා.

ඔහුගේ ආකර්ෂණීය ඡායාරූප දැක විස්තර දැක අන්තර්ජාලය ඔස්සේ අමතන තරුණියන්ට ටික කාලයක් ආශ‍්‍රය කළ පසුව ටික දිනකින් හෝටල්වලට යාමට ඔහු ඇරයුම් කරන බවද වාර්තා වුණා.

කොළඹ ප‍්‍රදේශයේ බැංකුවක සේවය කරන 30 හැවිරිදි තරුණියක විවාහවීමට බලාපොරොත්තුවෙන් මංගල යෝජනා කෙරෙහි උනන්දුවෙන් පසුවෙද්දී මෙම තරුණයාගේ විස්තර දැක ඒ ගැන සොයාබලන්නට සිතක් පහළවී තිබුනේ මේ අතරේය. ඇය ලබාදුන් ප‍්‍රථම දුරකථන ඇමතුමටම ඔහු ඉතා සමීප ලෙස කථාබහ කර තිබුණ අතර තරුණිය හා උසුළු

විසුළු කරමින් සිත්ගන්නා ආකාරයට හැසිරී තිබුණා. තමා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රජයේ ස්ථිර ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන බවත් නිවසක් හිමි බවත් ඔහු කියා තිබුණා. මේවා විශ්වාස කරන්නට තරුණිය පසුබට වූයේ නැත.

මේ ඇමතුමෙන් ටික දිනකට පසු ඔහු වරින්වර ඇයට කථාකරමින් ඇය සමග පෙම් පිළිසඳරේ නිරතවූ අතර ඇය ඔහු කෙරෙහි තවත් සමීප වුණා.
මේ අතරවාරයේ ඔහු සති දෙකකින් පමණ තරුණියට යෝජනාවක් කළේ තමාට ඇයව හමුවී ආශ‍්‍රයට අවශ්‍ය බවත් ඒ සඳහා හෝටලයක දවසක් නැවතී කාලය ගත කරන්නට එන ලෙසත්ය. තමා ඇයව විවාහ කරගන්නට කැමති බවත් ඔහු කියා තිබුණ අතර මුදල් ප‍්‍රශ්නයකට මැදිව සිටින නිසා මුදල් ලබාගැනීමට උදව් කරන ලෙසත් ඔහු කියා තිබුණා. මේ හමුවීමේ යෝජනාව ඉදිරිපත් කළ ස්වරූපය තරුණියගේ සිතට ඇල්ලූවේ නැත.

මේ දක්වා එක්වරක් හෝ හමු නොවුණ තරුණයා එක්වරම ලිංගික ඇසුරකට යෝජනා කරන බව ඇයට ඉවෙන් මෙන් තේරුණා. මේ නිසා ඇය තවත් මිතුරියකගේ සහාය ලබාගෙන ඔහුව පරීක්ෂා කරන්නට උපායක් යෙදුවා.
ඇයගේ මිතුරිය ඔහුගේ අංකයට ඇමතුමක් ලබාගෙන කියා සිටියේ අන්තර්ජාල වෙබ් අඩවියෙන් මංගල යෝජනාව දැක කතාකරන බවකි. ඒ අවස්ථාවේ එම මිතුරියටත් තරුණයා පෙර ආකාරයටම පෙම් බස් කියමින් කතා කර තිබුණ අතර ඇයට ලබාදී ඇත්තේ මේ තරුණියට ලබාදුන් නම නොව වෙනත් නමකි.

මොහු පැහැදිලිවම ගැහැණුන් අමාරුවේ දමන අනංගයකු බව තේරුම් ගත් බැංකු නිලධාරී තරුණිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ ගැන තොරතුරු සපයන ලද්දේ මේ අවස්ථාවේය. ඔහුගේ ස්වභාවය සොයා බැලීමට පොලිස් ළමා හා

කාන්තා කාර්යාංශය මගින් නම් 5 කින් පෙනී සිටින තරුණියන් 5 දෙනකු ලවා සැකකරු වෙත තවත් ඇමතුම් ලබාගත් අතර ඒ සියල්ලන් හා විවාහ වීමට යෝජනා ගෙන ආ බවත් ඔවුන්ටද සැකකරු හෝටල්වලට යැමට ඇරයුම් කර ඇති බවත් අනාවරණය කරගත්තා.
ඒ අනුව පොලිසිය උපදෙස් දුන්නේ තරුණයා හමුවීමට බැංකු නිලධාරිනියට එක`ගවන ලෙසත් ඉතුරු හරිය පොලිසිය බලාගනු ඇති බවත්ය.
ඒ අනුව සැකකරු ඇයව මුණගැසීම සඳහා නුගේගොඩ, බෝගහ යටදී දිනයක් වේලාවක් යොදාගත් අතර ජැන්ඩි පහට ඇඳගෙන ඔහු ඇයව හමුවන්නට එදා එතැනට ආ අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු අන්තර්ජාලයේ පළකර තිබුණ ඡායාරූපයට වඩා වෙනස් මුහුණුවරකින් සිටි බවද එළිදරව් වුණා.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි තලංගම ප‍්‍රදේශයේ පදිංචි රජයේ රැකියාවකින් නෙරපූ අයකු බවත් වාර්තා වුණා. ඉංජිනේරුවරයකු ලෙස ඔහු කියා ඇත්තේද බොරුවකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
මේ ආකාරයෙන් විවාහ වීමට කතාකොට තවත් තරුණියන් හෝටල්වලට ගෙන ගොස් ලිංගික අතවර කළේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය කියයි. මෙම පුද්ගලයාගේ උගුලට හසුවූ තරුණියන් ඇත්නම් ඒ ගැන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ 0112768067 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්