දරුව තාම නෑ - පරීක්ෂණ ක‍්‍රියාත්මකයි

මගේ මුළු සේසතම අරගෙන හරි මගේ අහිංසක දරුවා මට ආපසු දෙන්න. මං වැඳලා ඉල්ලන්නේ හයහතර නොතේරෙන දරුවට කරදරයක් කරන්න එපා කියලාල යෑයි පැහැර ගැනීමට ලක්වූ මීගලෑවේ සිව් හැවිරිදි දරුවාගේ පියා හඬා වැළපෙමින් කියා සිටියේය.
දරුවා පැහැරගත්ත අයගෙන් මං ඉල්ලන්නේ මගේ පුංචි දරුවට කන්න බොන්න ටිකක් දෙන්න එයාට අසනීපයක් වෙන්න ඉඩ දෙන්න එපා. මට මේ ව්‍යාපාරවලින් වැඩක් නැහැ. මට වටින්නේ මගේ දරුවො දෙන්නා. මගෙ දරුවා නැති වුණොත් මම
ජීවත්වෙලා වැඩක් නැහැල යෑයිද දරුවාගේ
පියා දරාගත නොහැකි වූ වේදනාවෙන් විලාප නඟමින් කියා සිටියේය.

ඉකුත් 28 වැනිදා රාත‍්‍රි 7.30 ට පමණ මීගලෑව ප‍්‍රදේශයේ නිවසකට කඩා වැදී මවුපියන්ට පහරදී කපා කොටා තුවාල කර නාඳුනන සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ලංකානාත් ඒකනායක දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තුරුත් ලැබී නොමැත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන්, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් පහක් මේ පිළිබඳව සෙවීමේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් දරුවා පැහැරගෙන ගියේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි. පෞද්ගලික ආරවුලක් මත පළිගැනීමේ චේතනාවෙන් දරුවා ගෙන ගියේද යන්න පිළිබඳවද කිසිදු සාක්ෂියක් මේ වන තුරුත් පොලිසියට ලැබී නොමැත.

දරුවා පැහැර ගැනීමට ලක්වූ අවස්ථාවේ මීගලෑව ප‍්‍රදේශයේ සිදුවූ දුරකථන පණිවිඩ පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

දරුවා පැහැර ගැනීමේ සිද්ධිය හෝ එම දරුවා සඟවාගෙන සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු වෙතොත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන් මහතාගේ 0774784635 දුරකථන අංකයට හෝ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ 0773361390 දුරකථනය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ ක‍්‍රියාත්මක වෙයි.
හේමන්ත රන්දුණු සහ සේනක ඉලංගකෝන්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්