ඉන්ටර්න්ෂිප් අයට රක්ෂණ නැති නිසා මියගිය වෛද්‍යවරියගෙ මව අසරණයි

සීමාවාසික වෛද්‍යවරුන්ට අග‍්‍රහාර රක්ෂණය හිමි නොවන බැවින් පුත්තලම මහ රෝහලේ වෛද්‍යවරිය ගිලන් රථ අනතුරකින් මියයැම නිසා ඇගේ මව ඉතා අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා පෙරේදා (18 දා* පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මරණයට පත් වූ වෛද්‍ය නිලධාරිනී ඉෂානි එරංගා ජයවර්ධන මෙනවිය පවුලේ එකම දරුවා වන අතර ඇගේ පියා ද ජීවතුන් අතර නැතැයි වෛද්‍ය ජිනදාස මහතා කීවේය.

සේවයේ යෙදී සිටින විට අනතුරට පත්වීමේ අවදානම වැඩිම පිරිස සෞඛ්‍ය සේවකයන් බව

ද ඒ අතරින් වැඩිම අවදානම වෛද්‍යවරුන්ට ඇතැයි ද ජිනදාස මහතා ප‍්‍රකාශ කළේය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවකට නිරාවරණය වන්නේ සීමාවාසික වෛද්‍යවරුන් බව ද එහෙත් ඔවුන් පුහුණුව ලබන නිලධාරීන් පිරිසක් වන නිසා රජයේ ස්ථිර සේවකයන්ට හිමි වරප‍්‍රසාද හිමි නොවන බව ද කී වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා අවම වශයෙන් රජයේ සේවකයන්ට හිමි අග‍්‍රහාර රක්ෂණයවත් සීමාවාසික වෛද්‍යවරුන්ට නැතැයි කීය.

මීට පෙරදී ද සීමාවාසික වෛද්‍යවරයකු රෝහල තුළදී ඩෙංගු වැළඳී මියගිය බව ද ඒ අවස්ථාවේදී ඉහත කාරණය තම සංගමය විසින් ඉස්මතු කර සීමාවාසික වෛද්‍යවරුන්ට රක්ෂණ ක‍්‍රමයක අවශ්‍යතාව පෙන්වා දුන් බව ද පැවසූ වෛද්‍ය ජිනදාස මහතා අද වනතුරු ඒ පිළිබඳ කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද කීය.

ගිලන් රථ සේවාවේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවයේ ගැටලූ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව කී හෙතෙම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වහා විධිමත් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව ද කීය.

අජිත් අලහකෝන්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි