හිරු ෆිල්ම් අවෝර්ඞ්ස් එකට ආවේ බොලිවුඩයේ සැබෑ තරු නෙමෙයි නේද?

හිරු ටී.වී. නාලිකාව විසින් සංවිධානය කළ ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2014‘ සිනමා සම්මාන උලෙළ සම්බන්ධව හිරු ටී.වී. අධ්‍යක්ෂ (වැඩසටහන්) විරාජ් වැලිවත්ත මහතා සමග කළ සංවාදයකි මේ.

හිරු ටී.වී. නාලිකාවට චිත‍්‍රපට උලෙළක් කරන්න අවශ්‍ය වෙන්නෙ ඇයි? මේ හරහා උත්සාහ කරන්නේ ජනප‍්‍රියතාව වැඩි කරගන්නද? නැත්නම් චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් උලෙළ යටතේ නොමිලේ ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාවෙන් ප‍්‍රයෝජන ගන්නද?

ටෙලිවිෂන් නාලිකාවක් විදියට ජනප‍්‍රිය වෙන්න නම් අපිට සිනමා සම්මාන උලෙළක් කරන්න  ඕනි නැහැ. හිරු ටීවී කියන්නෙ වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් නරඹන
නාලිකාවක් නිසා මම තරයේ විශ්වාස කරනවා චැනල් එක ජනප‍්‍රිය කරන්න සම්මාන උලෙළක් කරන්න අවශ්‍ය නැහැ කියලා. අනික අපි සිනමා සම්මාන උලෙළක් කළේ නැහැ කියලා කවුරුවත් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් කරන්නෙත් නැහැ.

කවුරුන් හෝ කියනවා නම් චිත‍්‍රපට පෙන්නගන්න  ඕනි නිසා සම්මාන උලෙළක් පවත්වනවා කියලා ඒ කෙනා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කරගත යුතුයි. මොකද දැනට චිත‍්‍රපටයකට වැඩිම මිලක් ගෙවා විකාශය කරන්නෙ හිරු නාලිකාවෙන්.
හිරු ජාතික නාලිකාවක් විදියට සිනමාවටත් ඉඩක් වෙන්කරලා තියෙනවා. මේ අතර කළමනාකාරිත්වය තීරණය කළා හරි හැඩයේ සිනමා උලෙළක් පවත්වන්න  ඕනි කියලා. අපි ට‍්‍රනේඞ් සෙටර්ස්ලා හැටියට ට‍්‍රනේඞ් හැදුවා වගේ, සම්මාන උලෙළක හැඩය කෙසේ වියයුතුද යන්න පිළිබඳව යම් පූර්වාදර්ශයක් සැපයීමට අවශ්‍ය වුණා.
අපේ රටේ වසරකට විශාල චිත‍්‍රපට ප‍්‍රමාණයක් නිපදවුණාට වසරකට ප‍්‍රදර්ශනය කෙරෙන්නෙ සීමිත ප‍්‍රමාණයක් පමණයි. මේ සම්බන්ධ යම් යම් ගැටලූ තිබියදීත් අපේ රටේ නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් තමුන්ගේ ඉඩකඩම් උකස් තබලා පවා චිත‍්‍රපට හදනවා. ඒවා ජාත්‍යන්තරයේදී සම්මානයට පවා පාත‍්‍රවෙනවා. හැමදාම නිර්මාණකරුවන්ට තිබුණෙ ආත්ම තෘප්තිය පමණයි. ඒ ආත්ම තෘප්තියේ ප‍්‍රධාන දෙයක් තමයි තමන් කරපු නිර්මාණය යම්කිසි වටිනාකමකින් ඇගයීම.

අපට මේ සම්මාන උලෙළේ යටි අරමුණු නැති නිසා මෙය නොමිලෙයි පැවැත්වුවේ.නැත්නම් අපිට තිබුණා ඉන්දීය ශිල්පීන් විකුණලා සල්ලි ටිකක් ගන්න. අපේ රටේ නිර්මාණවලට දායක වූ හැම ශිල්පියෙක්ම මේ සම්මාන උලෙළට ආරාධනා ලබා තිබෙනවා. මොකද සමහර ශිල්පීන් වසර 10 - 15 චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ නිරත වුවත් කවදාවත් සම්මාන උලෙළකට ආරාධනා ලබලා නැහැ.

මේ වනවිට තවත් ටීවී නාලිකාවක් විසිනුත් සිනමා සම්මාන උලෙළක් පවත්වනවා. ඊට තරගයක් ලබාදීමත් ඔබ නාලිකාවේ අරමුණක් නේද?

මම පැහැදිලිවම කියනවා ‘හිරු‘ කියන්නෙ හිරු ටීවී ඇරඹීමට පෙර පවා ජනතාවගේ හදවතේ තිබුණු නාමයක්. මේ නිසා කිසිම නාලිකාවක් දිහා බලලා හෝ වෙනත් නාලිකාවක තිබෙන දෙයක් හා තරග කරන්න අපේ කළමනාකාරිත්වයට කිසිම අදසක් නැහැ. අපි බොහොම පැහැදිලිව වෙනස් මාර්ගයක ගියේ.
වැඩසටහනක් හැදුවත් වෙනස්ම විදිහකට. හරියට බැලූවොත් උඩුගම් බලා පිහිනීම වගේ වැඩක්. අපි පුංචි වැඩසටහන්වලට පවා ලොකු අගයක් දුන්නා. හිරුට දැක්මක් තිබෙනවා. මේ නිසා අපි කරන දේ කොහොමද හරියට කරන්නෙ කියන එක අපි ඔප්පු කරලා තිබෙනවා.
මේ නිසා මෙම සිනමා සම්මාන උලෙළ කාගෙන්වත් අහල බලලා හෝ කවුරුවත් කරන නිසා කරපු දෙයක් නොවන බව පැහැදිලිවම කිව යුතුයි.


මේ සිනමා සම්මාන උලෙළට බොලිවුඞ් තරු ආනයනය කරන්න වෙලා තියෙන්නෙ ලංකාවේ සිනමා තරු නැති නිසාද?

ලෝකයේ තිබෙන ප‍්‍රධාන සම්මාන උලෙළ සියල්ලම වගේ ගත්තම ලෝකෙ විවිධ විවිධ පුද්ගලයන් එකතු වෙලා තමයි පවත්වන්නෙ. ලංකාවේ තරු නැත්තෙ නැහැ. මේ ඊයේ පෙරේදා වෙනකම්ම අපේ චිත‍්‍රපට ජාත්‍යන්තර සම්මාන පවා ගත්තා. ඒ නිසා ජාත්‍යන්තරයේ කතාවෙන තරු අපේ රටෙත්

ඉන්නවා.
ඉන්දියානු ශිල්පීන්  මෙයට සම්බන්ධ වෙන්නෙ උලෙළට තවත් ආකර්ෂණයක් (ග්ලැමර් එකක්* ලබාදීම සඳහායි.
ඔවුන් මෙහි ඇවිත් අපේ ශිල්පීන් සමග එකතුවෙලා වෙනස් හැඩයක්  සම්මාන උලෙළට ලබාදෙනවා. මෙහිදී සිදුවෙන්නෙ විදේශීය ශිල්පීන් ලවා අපේ ශිල්පීන් ඇගැයීමයි.
අනික ඉන්දියාවෙ සිනමාව හා අපේ සිනමාව අද ඊයේ එකතු වූ එකක් නෙවෙයි. අපේ සිනමාව ආරම්භ වුණේ ඉන්දියානු ආභාසය අරගෙනයි. ඉන්දියානු චිත‍්‍රපටවලට අපේ ශිල්පීන් දායක වෙනවා. උදාහරණයක් ලෙස ‘ඉන්දියන් ඩ‍්‍රීම්‘ චිත‍්‍රපටයේදී මේකප් කළේ රංජිත් වික‍්‍රමසිංහයි.
මෙම සම්මාන උලෙළේදී මේ කරුණු ගැනත් කතා වෙනවා. අපේ එරල් කෙලී ඉන්දියන් ප‍්‍රඩක්ෂන්වල ප‍්‍රඩක්ෂන් ඩිසයිනර් කෙනෙක් ලෙස කටයුතු කරනවා. මෙතැනදි යමෙකුට ප‍්‍රශ්න කරන්න පුළුවන් ඉන්දියාවේ ප‍්‍රඩක්ෂන් ඩිසයිනර්ස්ලා නැති හින්දද ලංකාවෙ කෙනෙක් ගත්තෙ කියලා. එහෙම දෙයක් නැහැ. මෙතැන තියන්නෙ තමන් හිතන විදිහෙ ගැටලූවකුයි.

අද ලෝකය විවෘත වෙලා තිබෙන නිසා හිතන විදිහ වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා ඇකඩමි එවෝඞ්ස්, ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළවලට වෙන හැඩයක් එක්කරන්නයි අයිෆා සම්මාන උලෙළ අරඹන්නෙ. එතැනදීත් කෙනෙකුට අහන්න පුළුවන් ඇයි අයිෆා උලෙළ රට රටවල පවත්වන්නෙ ඉන්දියාවේ හෝල් නැති හින්දද කියලා.

අපි මේකට බොලිවුඞ් ශිල්පීන් එක්කරගත්තෙ මීට ආකර්ෂණීය බවක්, වටිනාකමක් එක්කරන්න මිසක් අපේ රටේ ශිල්පීන් බාල්දු කරන්න හෝ අපේ ශිල්පීන්ට හානි කරන්න නෙවෙයි. අපේ ශිල්පීන් කොතරම් ඉහළ තැනක සිටිනවාද කියන එක අපි නාලිකාවත් විදිහට හොඳට දන්නවා. අපේ ශිල්පීන් හා ඉන්දියානු ශිල්පීන් කවුරුවත් ඉහළ පහළ නැහැ. ඒ හැමෝම කලාකරුවන්. හැබැයි ඉන්දියානු ශිල්පීන්ට වඩා ලාංකික නිර්මාණකරුවන් ජාත්‍යන්තරයේදී සම්මාන  දිනාගෙන තිබෙනවා.
මේක විචත‍්‍රවත් උලෙළක්. ජාත්‍යන්තර අත්දැකීමක් සහ ලංකාවේ පළමුවරට ලාංකික උලෙළකදී එකම වේදිකාවකදී ජාත්‍යන්තර ශිල්පීන් විශාල ප‍්‍රමාණයක් හමුවෙනවා.  ඒ හා සමානව ලාංකික ශිල්පීන් ජාත්‍යන්තර ශිල්පීනුත් සමග කරන සැබැවින්ම සම්මාන උලෙළක් තමයි හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2014 කියන්නෙ.

ඔබ කියන විදහට මේ සිනමා උලෙළට ආකර්ෂණයක් ගන්න නම් මේ සම්මාන උලෙළට ගෙන ආ යුතුව තිබුණේ මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප‍්‍රිය තරු නේද?

මේ ගෙනාපු ශිල්පීන් අතර අනිල් කපූර් කියන්නෙ ඉන්දියාවෙන් එහාට ගිහින් හොලිවුඩයක් ජයග‍්‍රහණය කළ නළුවෙක්. ඒ වගේම අල්කා යාග්නිග් කියන්නෙ ඇගේ කටහඬ තුළින් ඉන්දියාව හා ලෝකය මවිත කළ ගායිකාවක්.
අපේ සිනමා උලෙළ හා බද්ධ වෙන බොලිවුඞ් ශිල්පීන් තමයි අපි මීට සම්බන්ධ කරගත්තෙ. එහෙම නැතිව ශිල්පීන් පිරිසක් යොදාගෙන වැඩසටහනක් හැදුවෙ නැහැ.



නිරෝෂන් පේ‍්‍රමරත්න (අද*

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්