සෙව්මිණිගේ මරණයට ගුරුවරුන් දෙදෙනා වගකිව යුතුයි

රාගම දී දුම්රියට පැන පසුගියදා සියදිවි නසාගත් සෙව්මිණි අපේක්ෂා සිසුවියගේ මරණයට කඳාන හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනකුගේ ක‍්‍රියා කලාපය නිසා ඇති වූ මානසික පීඩනය බලපා ඇතැයි එම මරණය පිළිබඳව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කළ මූලික විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ විමර්ශන කටයුතු ඊයේ 19දා අවසන් කර ඇත.

මෙම මූලික විමර්ශනයේ අවසන් වාර්තාව ලබන සතිය තුළදී ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුව
විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සෙව්මිණි අපේක්ෂා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශනය කරන මෙම ත‍්‍රිපුද්ගල කමිටුව වෙත එම දැරියගේ දෙමාපියන් ඊයේ 19දා කැඳවා කටඋත්තර ලබාගත් අතර ඒ අනුව එම දැරියගේ දෙමාපියන් වන රෙජිනෝල්ඞ් සිල්වා මහතා හා මාරි අල්විස් මහත්මිය සිය දියණිය සියදිවි හානිකර ගැනීමට පෙර ලියන ලද ලිපියේ පිටපතක්ද එම කමිටුවට ලබාදී ඇත.

මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට චෝදනාවට ලක්ව ඇති ගුරුවරියන් දෙදෙනා ජාඇල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇත.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කළ මූලික විමර්ශනය සම්බන්ධයෙන් කළ විමසුමේදී අදහස් දැක්වූ එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා පැවසුවේ මූලික විමර්ශන වාර්තාව අනුව මෙම ගුරුවරියන් දෙදෙනා වරදක් කර ඇතැයි හැගී යන්නේ නම් එම වරදවල් සම්බන්ධයෙන් ලිඛිත පිළිතුරු සති දෙකක් තුළ ලබා ගැනීම සඳහා චෝදනා කෙටුම්පතක් එම ගුරුවරියන් වෙත ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම එම පිළිතුරු අනුවද මෙම ගුරුවරියන් දෙදෙනා යම් වරදක් කර ඇති බවට හැගී යන්නේ නම් විධිමත් විමර්ශනයක් සඳහා වන විනිශ්චය සභාවක් පත් කරන්නේ යැයිද ඒ මහතා කීවේය.
මෙම මරණය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය හා රාගම පොලිසියද පරීක්ෂණ පවත්වයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට