පාර්ලිමේන්තු නිදිවර්ජිත රාත‍්‍රියේ නෑසුණු රස කතා


  •     පබායි මාලිනියි කලිසමෙන් ඇවිත් කාඞ් ගහලා
  •     වයසක මන්ත‍්‍රීවරු ප‍්‍රථම පේ‍්‍රමය ගැන කියලා
  •     විමල් හෙළ ජාතික අභිමානේ ගයලා
  •     2.30 ට ඔක්කොම බුදිලූ

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට මහින්ද වෙනුවෙන් මන්ත‍්‍රිවරුන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ නිදිවර්ජිත උපවාසය පසුගිය සඳුදා  පැය 23ක කාලයක් පැවතුණා.

මෙම විරෝධතාවය අතරතුරේ මන්ත‍්‍රීවරු රතු පලසේ දිගාවී සිටි විවිධ ඉරියව්වල ජංගම දුරකථන ඡායාරූප ඔබ දකින්නට ඇති.
නමුත් එසේ සටහන් නොවුණ හෝ සටහන් වූ පසු ප‍්‍රසිද්ධ නොකරන්නට තීරණය වුණ ඡායාරූප මෙන්ම තවත් බොහෝ රසබර සිද්ධි ගණනාවක් මෙම නිදිවර්ජිත රාත‍්‍රිය හා සම්බන්ධවී අප‍්‍රකටව තිබෙනවා.
මේ ගැන එදා සිටි මන්ත‍්‍රීවරුන්ගෙන්
ලද තොරතුරු අනුව සිදු කළ ගවේෂණක් පහතින් පළවෙනවා.

උදේ ඇතිවුණ තත්වය
එදා පාර්ලිමේන්තුව පෙ.ව. 10.30ට කල් තැබුවද උපවාසයේ නිරත වූ මන්ත‍්‍රිවරුන් තමන්ගේ උපවාසයට එය බාධාවක් කරගත්තේ නැත. ඔවුන් වතුර බෝතල් සභා ගර්භයට ගෙන්වා ගත් අතර සේවාමුර ක‍්‍රමයට එක්කෙනා දෙදෙනා බැගින් දිවා ආහාරය ලබා ගැනීමට ගියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ භෝජනාගාරයටය.
ක‍්‍රම ක‍්‍රමයෙන් ? බෝවුණු අතර අධික වර්ෂාපතනයක්ද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිභාගයට ඇදහැලූණි. විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රිවරුන් 80කට අධික සංඛ්‍යාවක් සභා ගර්භයේ දිගටම රැඳී සිටීමට තීරණය කළ නිසා කතානායක චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වේත‍්‍රධාරි අනිල් සමරසේකර මහතා ප‍්‍රමුඛ කාර්යය මණ්ඩලයද පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට කටයුතු කළහ. පාර්ලිමේන්තුවේ සියලූම අංශවල සේවකයන් කිහිපදෙනකුට මේ නිසා රාත‍්‍රිය පහන් වනතුරු සිටීමට සිදුවූ අතර

පාර්ලිමේන්තු පොලිසියටද උපදෙස් ලබාදී තිබුණේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙසටය.

හැන්දෑවේ තත්වය
20 වැනිදා සවස 7.00 පමණ වන විට පිරිසක් සේවාමුර ක‍්‍රමයට නිවෙස් බලා පිටත්ව ගියේ පිරිසක් සභා ගර්භයේ උපවාසයේ නිරත වෙමින් සිටියදීය. නිවෙස්වලට ගිය පිරිස ඇඟපත සෝදාගෙන සමහරුන් රාත‍්‍රි ආහාරයද ලබාගෙන පැමිණියේ සාමාන්‍ය ඇඳුම්වලින් සැරසීගෙනය. සභා ගර්භයේ දිගටම උපවාසයේ නිරත වූ මන්ත‍්‍රිවරුන් රාත‍්‍රියට මාරු කරගැනීම සඳහා ඇඳුම් පාර්ලිමේන්තුවටම ගෙනවිත් තිබූ නිසා ඔවුන්ට ගැටලූවක් නොවීය.


පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ෆ‍්‍රයිඞ් රයිස් චිකන් ඩෙවල්
පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ සිටි මන්ත‍්‍රිවරුන් රාත‍්‍රි ආහාරය ලබාගත්තේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රි භෝජනාගාරයෙනි. සේවා මුර ක‍්‍රමයට එක්කෙනා දෙන්නා බැගින් ගොස් ආහාර ලබාගත්තේ පිරිසක් සභා ගර්භය තුළ සිටින විටය. මන්ත‍්‍රිවරුන්ට අවශ්‍ය ආහාරපාන ඇතුළු සියලූ පහසුකම් සම්බන්ධයෙන් වේත‍්‍රධාරිවරයා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඒ වන විටත් විශේෂ අවධානයක් යොමුකර තිබිණි.
ෆ‍්‍රයිඞ් රයිස්, චිකන් ඩෙවල්, නූල්ඞ්ස්, ඉදිආප්ප, කිරිහොදි, මාළු, පාන්, පොල්සම්බල් මන්ත‍්‍රිවරුන්ගේ රාත‍්‍රි ආහාරය සූදානම් කර තිබිණි. නිවෙස්වලින් රාත‍්‍රි ආහාරය ලබා නොගෙන පැමිණි මන්ත‍්‍රිවරුන්ද මන්ත‍්‍රි ආලින්දයට ගොස් රාත‍්‍රි ආහාරය ලබාගැනීමට කටයුතු කෙරිණි.

රාත‍්‍රි 9.00 වන විට 90කට ආසන්න මන්ත‍්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණ සිටි අතර බොහෝ දෙනකු පැමිණ සිටියේ සැහැල්ලූ ඇඳුම්වලින්ය. ජාතික ඇඳුම, යුරෝපීය ඇඳුම, සාරිය වැනි ඇඳුම්වලින් සැරසී වෙනදා පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත‍්‍රිවරුන්, මන්ත‍්‍රිවරියන් මෙසේ සැහැල්ලූ ඇඳුමින් සැරසී පැමිණීම විශේෂත්වයකි.

පබා මාලිනී කලිසමෙන්: පවිත‍්‍රා සුමේධා සාරියෙන්
රෝහිත අබේගුණවර්ධන, ටී.බී. ඒකනායක, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සී.බී. රත්නායක ඇතුළු මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් පැමිණ සිටියේ සරොම් හා සැහැල්ලූ ටීෂර්ට් පැලඳගෙනය. සී.බී. රත්නායක අමාත්‍යවරයා නිල් පැහැති සාටකයක් පැලඳ සිටි අතර බොහෝ දෙනකු එම සාටකය ගැන විමසන්නට විය.
නාමල් රාජපක්ෂ, උදිත ලොකුබණ්ඩාර ඇතුළුතරුණ මන්ත‍්‍රිවරුන් පැමිණ සිටියේ ටීෂර්ට් ඇඳගෙනය. උපේක්ෂා ස්වර්ණමාලි මන්ත‍්‍රිවරිය දිග කලිසමකින් හා ටීෂර්ට් එකක් ඇඳ සැරසී සිටියාය. සිනමා රැජන මාලිනී ෆොන්සේකා මහත්මියද සැරසී සිටියේ දිග කලිසමකින් හා ටීෂර්ට් එකකිනි. කමලා රණතුංග, ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් තිදෙනාම සැරසී සිටියේ සාරිවලිනි.
සභා ගර්භයේ තැන් තැන්වල සිට කණ්ඩායම් ගැසී බොහෝ දෙනා ආගිය තොරතුරු කතාකරමින් සිටි අතර රාත‍්‍රි 11.00 පමණ වන විට සභා ගර්භයේ සිටි මන්ත‍්‍රිවරුන්ගේ සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවී 110ද ඉක්මවා තිබිණි. වත්මන් ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකුම මධ්‍යම රාත‍්‍රිය වනතුරු පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ රැඳී සිටීම විශේෂත්වයකි.

වයසක මන්ත‍්‍රිවරු පළමු පේ‍්‍රමය මතක් කරලා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ද පැමිණ උපවාසයේ යෙදුණු මන්ත‍්‍රිවරුන්ගේ සැපදුක සොයාබැලීමට අමතක නොකළහ.
රාත‍්‍රි 10.00ට පමණ කිරි කෝපි සහ කෙටි ආහාර වර්ගවලින් පාර්ලිමේන්තු සේවකයෝ සභා ගර්භයටම පැමිණ උපවාසයේ නිරත වූ මන්ත‍්‍රිවරුන්ට සංග‍්‍රහ කළහ.
පිරිසක් පැරැණි රස කතා ගැන කතා කරමින් සිටින විට මැදිවියේ පසුවන පිරිස් කතා කළේ තමන්ගේ පාසල් කාලය, පාසල් පේ‍්‍රමය හා කැඩුණු ආදර සම්බන්ධතාවන්ය. මෙහිදී සමහරුන් මහ හයියෙන් සිනාසෙන විට සභා ගර්භය පුරා එය දෝංකාරයට ලක්වේ.
ඉන්පසුව කතානායක ලෙස

සභාව ‘ ඕඩර් ප්ලීස්,  ඕඩර් ප්ලීස්‘ කියා නිශ්ශබ්ද කරන්නේ රෝහිත අබේගුණවර්ධන මහතාය. මේ දෙස සිනාසෙමින් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා බලා සිටිනු දක්නට ලැබිණි.
රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, සී.බී. රත්නායක, ටී.බී. ඒකනායක මන්ත‍්‍රිවරුන් ඇතුළු පිරිසක් ගීත ගායනා කිරීම ආරම්භ කළේ ‘හෙළ ජාතික අභිමානේ‘ ගීතය ගායනා කරමිනි. ඉන් පසුව දේශාභිමානි ගීත රැසක් ගායනා කළ ඔවුහු එච්.ආර්. ජෝතිපාල, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ ඇතුළු ගායන ශිල්පීන් රැසකගේ ගීත ගායනා කිරීමට පටන් ගත්හ. මෙය සංගීත සන්ධ්‍යාවක් වශයෙන් සභාව මෙහෙයවමින් පවත්වාගෙන ගියේ රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රිවරයාය.

රෝහිත කුරේ වෙද්දී විමල් මහින්දානන්ද අගමැති රනිල් වෙති
ටිකක් වේලා යන විට හැමෝගේම අවධානය දිනාගත් අංගයක් වූයේ එක් එක් දේශපාලනඥයා අනුකරණය කර කතා කිරීමේ අංගයයි. රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රිවරයා කතා කළේ රෙජිනෝල්ඞ් කුරේ අමාත්‍යවරයා අනුකරණය කරමින්ය. විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රිවරුන් කතා කළේ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා අනුකරණය කරමින්ය. අග‍්‍රාමාත්‍යවරයාගේ ආසනය තිබෙන ස්ථානයට ගොස් මෙම මන්ත‍්‍රිවරුන් දෙදෙනා කළ කතාවට බොහෝ දෙනකු සිනාසුණේ බඩවල් අල්ලාගෙනය.

ජානක-රංජිත්-පබා කුට්ටමෙන් සෙල්ලම් දමති
මේ අතර කාඞ් කුට්ටමක්ද මන්ත‍්‍රිවරයකු සභා ගර්භයට ගෙනැවිත් තිබුණි. ජානක වක්කුඹුර, රංජිත් සොයිසා, ෂෙහාන් සේමසිංහ, උපේක්ෂා ස්වර්ණමාලි ඇතුළු පිරිසක් කාඞ් සෙල්ලම් කරමින් සිටි ස්ථානයේද විශාල පිරිසක් ඉඳිමින් ඊට උපදෙස් ලබා දුන්හ.
මාලිනී ෆොන්සේකා මහත්මිය සිටි නිසා ඇය දෙසට අත දිගු කරමින් ‘තුෂාරා‘ චිත‍්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල ගායනා කරන ‘ ඕ තුෂාරා...  ඕ තුෂාරා...‘ ගීතය ගායනා කරමින් නර්තනයක යෙදුණේ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රිවරයාය. මෙම ගීතයට අනෙක් මන්ත‍්‍රිවරුන්ගෙන් ලැබුණේ විශාල ප‍්‍රතිචාරයකි.
ටී.බී. ඒකනායක, තිස්ස කරල්ලියද්ද යන මන්ත‍්‍රිවරුන් දෙදෙනා සාමකාමීව භාවනාවේ යෙදෙන ආකාරයක්ද දක්නට ලැබුණි.


පාන්දර 1 ට කිරිකෝපි: 2.30ට ඔක්කොම නිදි
අලූයම 1.00ට පමණ කිරි කෝපිවලින් යළිත් වරක් සංග‍්‍රහයක් ලැබුණු අතර අලූයම 2.30 පමණ වන විට සියල්ලන්ම නින්දට ගොස් තිබුණි. නමුත් විටින් විට සමහරුන් අවදි වූයේ මෙය නුපුරුදු අත්දැකීමක් වූ නිසාය.
පාර්ලිමේන්තු සභා ගර්භයේ රතු කාපට් එකේ බොහෝ දෙනකු වැතිරී නිදාගත් අතර සමහරුන් දොරටු අසල පිහිටා ඇති පියගැට පෙළේත් සමහරුන් කතානායක ආසනය අසල පියගැට පෙළේත් නිදාගත්තේ සැප පහසුකම මොහොතකට අමතක කරමිනි,
බොහෝ දෙනකුගේ හිසට කොට්ට වශයෙන් භාවිතයට ගත්තේ මන්ත‍්‍රි ආසනවල කුෂන්ය. පෙරවීමට රෙදි ගෙනැවිත් දුන්නේ පාර්ලිමේන්තු සේවකයන්ය.
නින්දට පෙර සභා ගර්භයේ රූපවාහිනියෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සහභාගි වූ වැඩසටහනක් නැරඹූ අතර මේ ගැන වැඩි අවධානයක් යොමු කළේ විමල් වීරවංශ මහතාය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අස්සන් භාරගැනීම පැවැරී තිබුණේ රංජිත් සොයිසා මන්ත‍්‍රිවරයාටය. එම මන්ත‍්‍රිවරයා නිදාගන්නා අවස්ථාව වන විට 116 දෙනකුගේ අස්සන් තබාගෙන තිබූ අතර ඔහු එය කෙතරම් පරිස්සම් කළාදැයි කියනවා නම් රංජිත් සොයිසා මන්ත‍්‍රිවරයා නිදාගත්තේ එම අස්සන් සහිත ලිපිය ඇතුළත් ෆයිල් කවරය හිසමත තබාගෙනය.

හොඳම ගෙරවීමේ කප් එක මන්ත‍්‍රි රෝහණ පුෂ්පකුමාරට
නිදාගනිද්දී වැඩියෙන්ම ගොරවා ඇත්තේ වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මන්ත‍්‍රිවරයාය. ඔහුගේ ගෙරවිල්ල නිසා ඇහැරුණු කිහිපදෙනෙක්ම පැවැසුවේ මාලිගාවත්තේ ලී මෝලක් පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ගෙනත් සවිකර ඇති බවයි. කොට කලිසම් ඇඳගෙන සිටි සමහර මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තු සේවකයන්ගෙන් පොරෝන දෙක බැගින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව තුළ පවතින අධික සීතල හේතුවෙනි.

අලූයම 5.30ට පමණ වන විට නින්දෙන් පිබිදුණු අය කඩිනමින් නිවෙස්වලට ගොස් මුහුණ කට සෝදා ඇඳුම් මාරුකරගෙන උදෑසන ආහාරගෙන උදෑසන 8.00 වන විට පාර්ලිමේන්තුවට පැමිණි අතර අනෙක් පිරිස මාරුවෙන් මාරුවට ගොස් පාර්ලිමේන්තුව තුළදීම මුහුණකට සෝදා ඇඳුම් මාරුකර උදෑසන ආහාර පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රි භෝජනාගාරයෙන් ලබාගෙන සභා ගර්භයට පැමිණියහ.
ඊයේ (21දා) පෙ.ව. 9.30ට කතානායකවරයා ලබාදුන් තීන්දුවෙන් පසුව පැය 23ක් අඛණ්ඩව සිදුකරගෙන ගිය උපවාසය මන්ත‍්‍රිවරුන් අවසන් කළේ නව වාර්තාවක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කරමිනි.

සටහන - ඩබ්ලිව්.කේ. ප‍්‍රසාද් මංජු







Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප